නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙලාදකිමු! – ජාතික ජන බලවේගය

පසුගිය දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සහ එහිදී සිදුවූ ඝාතන පිළිබඳව ජාතික ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ‘නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙලාදකිමු!’ යන තේමාවෙන් නිකුත් කර ඇති එම නිවේදනය විසින් මේ පිළිබඳ විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ජනතාවට සත්‍ය හෙළිකරන ලෙස ආණ්ඩුවට බල කර තිබේ. එමෙන්ම එම ඝාතනයන් කිසි ලෙසකින්වත් සාධාරණය කළ නොහැකි බව පවසන ජාතික ජන බලවේගය ජන ඝාතන හෙළා දකින ලෙසත් නැවත මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුනොවීමට අවශ්‍ය බලපෑම කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන මානවවාදී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියි.

නිකුත් කළ සම්පුර්ණ නිවේදනය මෙසේයි;

නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙලාදකිමු!

 පසුගිය 29 වෙනිදා මහර සිර ගෙදර නිරායුධ රැඳවියන් හට පහරදී වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය පිළිබඳව ජනතාව දැඩි කම්පාවට පත්ව සිටියි. මෙම වෙඩි තැබීමෙන් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර සියයට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙම සිද්ධිය මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදැමීමේ සිද්ධිය සිහි කරයි. බන්ධනාගාරයක රැඳවියන් රජයේ භාරයේ සිටින පුද්ගලයන් වන හෙයින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකීමට රජය බැඳී සිටියි. මෙම සිද්ධිය ආරම්භ වූ ආකාරය හා වෙඩි තැබීම සිදුවූ ආකාරය පිළිබඳව බලධාරීන් පරස්පර අදහස් දක්වමින් සිටින හෙයින් ජනතාව තුළ මෙම සිද්ධිය පිළිබඳව දැඩි සැකයක් ඇතිවීම පුදුමයක් නොවේ.

මොනතරම් බරපතල වරදකට වරදකරුවන් වූ සිරකරුවන් මෙන්ම රක්ෂණ භාරයේ සිටින රැඳවියන්ද පුරවැසියන් වශයෙන් මූලික මානව හිමිකම වන ජීවත්වීමේ අයිතිය මෙන්ම ජීවිත ආරක්ෂාවද හිමි පුද්ලයන් වේ.

 කැරළි මැඩලීම සඳහා ක්‍රියාකාරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත අපරාධ නඩු විධාන සංග්‍රහයේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලදීද සටහන් වී ඇත. කිසිදු ශිෂ්ටසම්පන්න සමාජයක නිරායුධ පුද්ගලයන් වෙවි තබා මරාදැමීම පිළිගත නොහැක. එබැවින් නිරායුධ රැඳවියන් මෙලෙස වෙඩි තබා ඝාතනය කිරීම හෙළාදැකිය යුතුය.

 අපගේ අපරාධ නීතිය යටතේ මෙවැනි රජය භාරයේ සිටින පුද්ගලයෙකු මරණයට පත්වූ විට එම සිද්ධිය පිළිබදව විවෘත පරීක්ෂණයක් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පැවැත්විය යුතුය. එය අපරාධ නඩු විධාන සංග්‍රහයේ දක්වා ඇත. එමෙන්ම මරණයට පත්වූ පුද්ගලයාගේ මෘතදේහය පිළිබදව වෛද්‍යවරයෙකු විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

නීතිය යටතේ පවත්වනු ලබන මහේස්ත්‍රාත් පරීක්ෂණය විවෘතව පැවැත්විය යුතු අතර එම මරණය පිළිබද දන්නා ඕනෑම පුද්ගලයෙකුට ඉදිරිපත් වී මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අයිතියක් ඇත. ඒ අනුව මෙම පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදුකළ යුතුය.

මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල දැනගැනීමට මිය ගිය අයගේ ඥාතීන්ට මෙන්ම ජනතාවට අයිතියක් ඇත. මෙම මරණ පිළිබදව බලධාරීන් විසින් දක්වන කරුණු සත්‍යයද යන්න නිගමනය කළ හැක්කේ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසුවය. එහෙයින් එම වාර්තා ජනතාවට දැනගැනීම සදහා ප්‍රසිද්ධ කළ යුතුව ඇත. එහෙත් දැනට සිදුවෙමින් තිබෙන්නේ මෙම සිදුවීමේ සත්‍ය යටගසන ආකාරයේ ක්‍රියාමාර්ග බව පෙනේ. මෙම සිද්ධිය හේතුවෙන් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය පිළිබද ප්‍රශ්න මතුවී ඇති හෙයින් ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ ප්‍රතිරූපයටද දැඩි හානියක් සිදුව ඇත.

එම හානිය අවම කළ හැක්කේද ඉතා විධිමත්ව හා විනිවිදව සිද්ධිය පිළිබදව පරීක්ෂණ සිදුකිරීමෙන්ය. මෙය ඉතා බරපතල සිද්ධියක් හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලබන කොමිසමක් මගින් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇත. දැනට මේ සම්බන්ධයෙන් පත් කර ඇති කමිටු හා එහි ක්‍රියාකාරීත්වය අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුතු බවක් නොපෙනෙන අතර මේ ආකාරයෙන් පරීක්ෂණ පැවැත්වීම තුළින් රජය මෙම සිද්ධිය වසන් කිරීමට ප්‍රයත්නයක් දරණ බව පෙනී යයි.

 එබැවින් මේ පිළිබඳ විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ජනතාවට සත්‍ය හෙළිකරන ලෙස ආණ්ඩුවට බල කරන අපි කිසි ලෙසකින්වත් සාධාරණය කළ නොහැකි ජන ඝාතන හෙළා දකින ලෙසත් නැවත මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුනොවීමට අවශ්‍ය බලපෑම කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන මානවවාදී සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමු.

 ජාතික ජන බලවේගය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here