රක්‍ෂණ අරමුදලින් හෝ කුවේට් වන්දි අරමුදලින් විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගන්න – සමන්මලී ගුණසිංහ

කුවේට් වන්දි අරමුදලේ රු. බිලියන 03ක් පමණ තිබෙන බවත් විදේශගතවන ශ්‍රමිකයන්ගේ රක්‍ෂණ අරමුදලේ රු. කෝටි 1,000ක් පමණ තිබෙන බවත් එම අරමුදල් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පවතින අරමුදල යොදවමින් මැදපෙරදිග අතරමං වී සිටින විදෙස්ගත ශ්‍රමිකයන් ඉක්මනින් ගෙන්වා ගැනීමට ක්‍රියා කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ පැවසීය.

ඇය මේ බව සඳහන් කලේ ඊයේ (10) ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව කොළඹදී සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක් වූ ඇය, “විදෙස්ගතවෙලා ඉන්න අපේ රටේ පුරවැසියන්ට කොරෝනා වසංගතය නිසා ගුවන්තොටුපොළ වහලා තිබුණා. විවිධ අවශ්‍යතා සඳහා විදේශගත වූවන් සහ විදේශ රැකියා කිරීමට පිටත්ව ගොස් සිටින අය විශාල පිරිසක් මව්රට පැමිණීමේ අපේක්‍ෂාවෙන් ඉන්නවා. මේ අතරින් ජෝර්දානයේ සිට පැමිණීමට සිටි පිරිසකට පොලීසිය යොදවා පහරදීම් සිදුකළා. අපි ඒ තත්වය හෙළාදකිමින් ජනමාධ්‍යයට තොරතුරු හෙළිකළා. එවැනි තත්වයක් තුළ පවා මේරටට පැමිණීමට ලාංකික පුරවැසියන්ට තිබෙන අයිතිය ආණ්ඩුව පිළිගත්තේ නැහැ.

විදේශගතව රැකියා කළ අය ගෙන්වා ගැනීම පැත්තකට දැමූ ආණ්ඩුව, උදයංග වැනි කුප්‍රකට ජාවාරම්කරුවන් මූලිකවෙලා ගෙන්වන සංචාරකයන්ට රතු පාවාඩ එලන්න ආණ්ඩුව ඉඩදුන්නා. ඩොලර් බිලියන 07ක් පමණ විදෙස්ගත ශ්‍රමිකයන් උපයා දෙනවා. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන්නේ රු. බිලියන 04ක් විතරයි. එහෙම තියෙද්දී වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයෝ පැත්තකට දාලා සංචාරකයින් යැයි කියන කොරෝනා රෝගීන් පවා ගේන්න ආණ්ඩුව ඉඩ දුන්නා. ඔවුන් රඳවලා ඉන්න හෝටල්වල සේවය කරන ලාංකිකයන් අනතුරක හෙළුවා. ජනාධිපතිවරයා මේ ලාංකිකයන් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා. ජනාධිපතිවරයාම තමන්ට චරිත දෙකක් තියෙන බව කියා තිබුණා. අපි දන්නවා පැහැදිළිවම ජනාධිපතිවරයාට චරිත දෙකක් තිබෙන බව. ඡන්දයට කලින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඡන්දය තමන් වෙත දාගන්න ලොකු උනන්දුවක් පෙන්නුවා. ඡන්ද ටික දාගත්තාට පස්සේ සුදුනූල වෙනුවට අතට රතුනූලක් ඇවිල්ල තියෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් ටිකත් අමතක කළා.

ආණ්ඩුව මේ දෙබිඩි පිළිවෙතත් අනුගමනය කරද්දී විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳව කරන ප්‍රකාශ පිළිගන්නේ කොහොමද? ආණ්ඩුවට හිතවත් ජාවාරම්කරුවන් පෝෂණය කිරීමේ අරමුණින් පමණක් ඇතැම් කණ්ඩායම් රටට ගෙන්වනවා. ඇවන්ගාඞ් මුදලාලිගේ මැරිටයිම් සමාගමට මේ අයගේ පරීක්‍ෂණය කරන්න දීලා. පළවැනි පී.සී.ආර්. පරීක්‍ෂණයට රු 23,500කුත් දෙවැනි පී.සී.ආර්. එකට රු. 14,500ක් අය කරනවා. හෝටල් ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු නැතිව රු 38,000ක් අය කරනවා. මාස 8-9ක් රැකියාව අහිමිවී සිට තමන්ගේ ඇඟ විකුණලා හරි ටිකට් එකට සල්ලි හොයාගෙන මේ රටට එන අය ගසාකන්න ජාවාරම්කරුවන්ට ඉඩ දීලා. මුළු වියදම රු. ලක්‍ෂ 4ක් හෝ 5ක් නිරෝධායනයටත් එක්ක යොදවන්න සිදුවෙනවා. මෙච්චර කාලයක් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ජීවත් වුණු ආණ්ඩුවක් විදිහට මේ වගේ ක්‍රියා කරන්න ලැජ්ජා නැද්ද? ” යනුවෙන් සඳහන් කළාය.

මෙම මාධ්‍ය හමුවේ දී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය, සහ සරෝජා සාවිත්‍රී පෝල්රාජ් ද අදහස් දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here