කුමන තත්වයක් යටතේවත් වෛද්‍ය පීඨ වසා දමන්න එපා – විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන

මෙම කොවිඩ් සමය තුළ සෞඛ්‍ය අංශ ශක්තිමත් කළ යුතුව තිබෙන බැවින් වෛද්‍ය සිසුන්ට යම් ප්‍රමාදයක් වුවහොත් එය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට බලපෑමක් ඇති කරන බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

ඊයේ පැලවත්තේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කලේ ඒ හේතුවෙන් රට වසා තැබුවත්, විශ්වවිද්‍යාල වසා තැබුවත් වෛද්‍ය පීඨ හෝ පශ්චාත් උපාධි ආයතනය හෝ මෙම කාලය තුළ වසා දමන්න නොතබන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා,

“ඇතිවී තිබෙන කොවිඩ් තත්වය විශ්වවිද්‍යාලවල මෙම ඉගෙනුම් සංකලපයටත් අහිතකර ලෙස බලපා තිබෙනවා. කොවිඞ් ප්‍රශ්නයට විසඳුමක් නොමැති තත්වයක් තුළ අපිට කියන්නට බැහැ තව කොපමණ කාලයක් මේ සමග ජීවත් විය යුතුද කියලා. එම නිසා කොවිඞ් සමග ජීවත්වීමට සිදුවෙනවා කියලා අපි දැනට කියනවා. එයින් අදහස් කරන්නේ කුමක්ද? දුරස්තභාවය ආරක්‍ෂා කිරීම, අත සේදීම කියලා නෝටීස් බෝඞ් එකක් දැමීමද? එහෙම නැත්නම් මාධ්‍ය මගින් විවිධ ප්‍රචාරයන් කිරීමද? එය නොවෙයි විය යුත්තේ. විශ්වවිද්‍යාල ආරම්භ කරනවා නම් එයට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් විය යුතුයි. ඒ ඒ විශ්වවිද්‍යාලය තුළට ඒ ඒ පීඨයන් තුළට වැඩපිළිවෙළ විශේෂ විය හැකියි. දේශන ශාලා තුළ දුරස්ථභාවය පවත්වාගැනීම අසීරු කටයුත්තක්. ඒ නිසා විශ්වවිද්‍යාල තුළ පහසුකම් වැඩිකිරීම සිදුකළ යුතුව තිබෙනවා. අලුතින් පහසුකම් සැපයීමට නොහැකි නම් තිබෙන පහසුකම් කළමණාකරණය කළ යුතුයි.

ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර තුළ පවතින අඩු පහසුකම් නිසා දුරස්ථභාවය ආරක්‍ෂා කරගන්න බැහැ. එම නිසා කොවිඩ් පැතිරීමේ අවදානමද වැඩියි. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකසා ගත යුතුව තිබෙනවා. මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ දුරස්ත අධ්‍යාපන ක්‍රමවේදයන් ආරම්භ කොට තිබෙනවා. අධ්‍යාපනයට අන්තර්ජාලය යොදා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් එය පමණක් ප්‍රමාණවත්ද? ඒ සඳහා අන්තර් ජාල පහසුකම් විශ්වවිද්‍යාල තුළ, නේවාසිකාගාර තුළ, ළමුන් සිටින ප්‍රදේශ තුළ තිබිය යුතු වෙනවා. නමුත් සමහර දුර පළාත්වල එම පහසුකම් නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි ආණ්ඩුව සොයා බැලිය යුතු වන්නේ. ඒ වගේම ඊ පුස්ථකාල ඇරඹීම, ඩිජිටල් දේශන ආරම්භ කිරීම කළ යුතුව තිබෙනවා. මෙවැනි ක්‍රියාමාර්ග සඳහා ආණ්ඩුවට සැලසුමක් තිබිය යුතුයි. එසේ නොමැතිව පාසැල් පටන් ගන්නවා වගේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බැහැ.

ඒ වගේම වෛද්‍ය සිසුන්ට සායනික පන්තිවලට සහභාගි විය යුතු වෙනවා. වාට්ටුවලට යා යුතු වෙනවා. ඔවුන්ට කොවඩි අවදානම වැඩියි. ඔවුන්ට ආක්‍ෂිත ඇඳුම් කට්ටල සපයා දිය යුතුව තිබෙනවා. එම පහසුකම ලබාදෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයද, සෞඛ්‍ය අමාත්‍යාංශයද කියලා ගැටළුවක් තිබෙනවා. නමුත් කුමන හෝ අමාත්‍යාංශයක් මගින් මෙම පහසුකම සැලසිය යුතුයි.

වෛද්‍ය සිසුන්ටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වගේම අවදානමක් තිබෙනවා. එමනිසා වෛද්‍ය පීඨ සිසුන්ට කොවිඩ් වැළඳුනහොත් සිදුකළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුමක් තිබිය යුතුයි. ඔවුන්ටත් යම් ප්‍රමුඛතාවයක් ලබාදිය යුතුව තිබෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා සෑම වෛද්‍ය පීඨයක්ම එක හා සමානව කාර්යක්‍ෂම විය යුතුයි කියලා. එක පීඨයක හෝ ප්‍රමාදයක් සිදු වුවහොත් එය සමස්ත පීඨවලම වෛද්‍ය සිසුන්ට බලපානවා. එම නිසා මෙම සිසුන් කඩිනමින් වෛද්‍යවරුන් බවට පත්කිරීමට සියලුම පීඨයන් සැලසුම් කළ යුතුව තිබෙනවා. මොකද මෙම කොවිඞ් සමය තුළ සෞඛ්‍ය අංශ ශක්තිමත් කළ යුතුව තිබෙනවා. වෛද්‍ය සිසුන්ට යම් ප්‍රමාදයක් වුවහොත් එය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට බලපෑමක් ඇති කරනවා. එම නිසා රට වසා තැබුවත්, විශ්වවිද්‍යාල වසා තැබුවත් වෛද්‍ය පීඨ වසා තැබිය යුතු නැති බව අපි විශ්වාස කරනවා. එම නිසා මම ඉල්ලා සිටිනවා වෛද්‍ය පීඨ හෝ පශ්චාත් උපාධි ආයතනය හෝ මෙම කාලය තුළ වසා දමන්න එපා කියලා.”යනුවෙන් සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here