රනිල් මන්ත්‍රීකම එපා කියයි – අකිලත් ලේකම්ධූරයෙන් ඉවත් වෙයි

එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නා ලෙසට ඊයේ (23 වැනිදා) එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ ලිඛිත ඉල්ලීමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කළමනාකරණ කමිටුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ පෙරවරුවේ රැස් වඋ ඇති අතර එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරුන් විසින් ජාතික මන්ත්‍රී ලැයිස්තු ධුරය සඳහා මෙයට පෙර යෝජනා කර තිබූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම කළමනාකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාවට ගැණිනි.

රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, වජිර අබේවර්ධන, අර්ජුන රණතුංග, සන්දිත් සමරසිංහ, පාලිත තෙවරප්පෙරුම හා අනෝමා ගමගේ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර රවි කරුණානායක හා නවීන් දිසානායක සහභාගි නොවූ බවද පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

ලිඛිත ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකින් සුදුසු පුද්ගලයකු ඒකමතිකව තෝරාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට පත්කළ යුතු බවයි.

මේ අතර පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව පවසමින් හිටපු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් යොමු කළ ලිපියක්ද රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රතික්ෂේප කර ඇත. ඉදිරියටත් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කරන ලෙස පක්ෂ නායකත්වය දැනුම් දී ඇති අතර අකිල විරාජ් කාරියවසම් ඉල්ලා අස්වීමට බලපාන හේතු පිළිබඳව කරුණු දක්වා තිබේ.

කෙසේ වෙතත් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (24 වැනිදා) සිරිකොතදී පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවට සාගල රත්නායක, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here