20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය රටේ බුදු දහමට ලබා දී ඇති පුමුඛත්වයටද තර්ජනයක් – එජාප

යෝජිත විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  හරහා බුදුදහමට ලබාදී ඇති ප්‍රමුඛතාවය ට ද තර්ජනයක් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ  ‍ප්‍රජාතන්ත්‍රවාදය  ගොඩනැගී ඇති  බලකණු බිඳදමමින්  විධායකය පමණක් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම හරහා  ජනතා පරමාධිපත්‍ය බලය  සම්පූර්ණයෙන්ම  විනාශ වී යන බවයි.

“ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ ප්‍රධාන කණු  තුනක් උඩ, ඒ ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය. ඒ වගේම ස්වාධීන  මාධ්‍ය කියන හතරවෙනි කණුවකුත් තියෙනවා. මේ විසිවන සංශෝධනයෙන් පේන්නේ කණු  තුනක්ම ඒ කියන්නේ  ‍ව්‍යවස්ථාදායකය අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය  යන සියල්ල නොසලකා හැරලා  සියලු  බලතල විධායකයට විසින්  අත්පත් කර  ගැනීමට දරන උත්සාහයක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන එක, ඒක එහෙම නැති වෙනවා කියලා කියන්නේ  රටේ බුදුදහම පවා අනාරක්ෂිත වෙනවා කියන එකයි. එලෙස එල්ලවන බලපෑම් වලට  එක්සත් ජාතික පක්ෂ විදිහට අපි විරුද්ධයි.

මෙවැනි සංශෝධනයක්  නීතියක්  ලෙස සම්මත  වුවහොත්  ඉදිරියේ දී රටේ  ස්වාධීන අධිකරණ පද්ධතියේ සහ ස්වාධීන මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලිය පිළිබද ප්‍රශ්න කිරීමට අපට සිදුවේවි. ඒ වගේම රාජ්‍ය ආයතන වල සම්පත් භාවිතය, මුදල් භාවිතය සම්බන්ධයෙන් විගණනය කිරීම සදහා විගණකාධිපතිවරයාට පවරා ඇති  බලය ඉවත් කිරීම මගින් අර්බුදයක් නිර්මාණය වනවා. මෙය සෘජුවම රටේ   ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල ප්‍රහාරයක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ලෙස අපි මෙම ව්‍යවස්ථා සංශෝධනයට  දැඩි විරෝධය පළ කරනවා.”යැයිද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රුවන් විජේවර්ධන මහතා සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here