නව දේශපාලන හා සමාජ බලයක් ගොඩනැගීමට චම්පික ඇතුළු පිරිසක් ජාතික හෙළ උරුමයෙන් ඉවත්වෙයි

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද(12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී තිබේ.

පාඨලී චම්පික රණවක මහතා සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, නිරෝෂා අතුකෝරල මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කළ තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ සහ පලාත් පාලන මන්ත්‍රීවරු සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත. . ඒ අද ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී ය.

එහිදී අදහස් පළකළ මන්ත්‍රීවරයා සඳහන් කලේ, අද රටට නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව තිබෙන බවත් එම නව සමාජ බලවේගය ගොඩනැනීම වෙනුවෙන් ජාතික හෙළ උරුමයේ පක්ෂ සමාජිකත්වයෙන් හා තනතුරු වලින් ඉවත් වීමට කටයුතු කරන බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,” අද රටෙහි සිටින තරුණ පිරිසට අනාගතයේ මේ රට භාරදිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් යහපත් රටක් නිර්මාණය කිරීම අප සියලු දෙනාගේ වගකීමක්. මෙම තරුණ පිරිස විධිමත් ලෙස මෙහෙයවීම වෙනුවෙන් නව සමාජ ජාතික බලවේගයක අවශ්‍යතාවය අද අනිවාර්යයි. රටෙහි සිටින තරුණ පිරිසට රට භාරදීමට කිසිසේත් සුදුසු තත්ත්වයක් අද නොපවතින අතර පැරණි දේශපාලන පවුල්වල නෂ්ටාවශේෂයන් අදටත් මේ රටේ පාලනය ගෙනයාමට කටයුතු කරමින් සිටිනවා. මෙම ක්‍රමය අප වෙනස් කළ යුතුය. ඒ වෙනුවෙන් වන නව සමාජ බලවේගයක් නිර්මාණය කිරීමට අප ඉදිරියේදී ක්‍රියා කරනු ලබනවා.” යනුවෙන් සඳහන් කලේය.

ජාතික හෙළ උරුමයේ නව සභාපති වශයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් ද, පක්ෂයේ නව මහ ලේකම් වශයෙන් බන්දුල චන්ද්‍රසේකර මහතා ද, උප සභාපති වශයෙන් දයා පෙරේරා මහතා ද, නියෝජ්‍ය ලේකම් වශයෙන් නීතිඥ ටියුඩර් පෙරේරා මහතා ද, භාණ්ඩාගාරික වශයෙන් අනිල් ජයවර්ධන මහතා ද, ජාතික සංවිධායක වශයෙන් මහේන්ද්‍ර ජයසිංහ මහතා ද පත් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here