A/L පැරණි නිර්දේශය සහ නව නිර්දේශය නිසා මතුව ඇති ගැටලුව: මන්ත්‍රී විජිතගෙන් UGCය වෙත ලියුමක්

 

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ 2019/20 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේදී පැන නැගී ඇති ගැටලුකාරී තත්වය සම්බන්ධයෙනි.

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී පසුගිය වසර 05 තුළ බඳවාගත් උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව වෙනුවට සංයුක්ත මධ්‍යන්‍යය භාවිත කර මෙවර සිසුන් ඇතුළත් කර ගැනීමට යාම හේතුවෙන් මෙම ගැටලුව පැනනැගීමට හේතුව බවයි හේරත් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ. එහෙයින් එක් එක් පාඨමාලාව සඳහා බඳවාගත් උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව බඳවාගෙන සියලු සිසුන්ට සාධාරණයක් ඉටු කර දෙන මෙන් ඔහු ඉල්ලා තිබේ.

ඒ අනුව දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පැරණි හා නව නිර්දේශ යටතේ එක් එක් දිස්ත්‍රික්කයෙන් එක් එක් පාඨමාලාවලට බඳවා ගැනීමට යෝජිත සිසුන් ප්‍රමාණය ප්‍රසිද්ධියට පත්කර මෙම ක්‍රියාවලියේ විනිවිද පෙනෙනසුළුභාවය සහතික කරන මෙන්ද විජිත හේරත් ජාජබ මන්ත්‍රීවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් මෙම ලිපිය වෙතින් ඉල්ලා සිටියි.

මන්ත්‍රීවරයා විසින් සභාපතිවරයා වෙත යොමුකළ සම්පුර්ණ ලිපිය පහත පළවේ.

 

සභාපති,

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

කොළඹ 07.

සභාපතිතුමනි,

2019/20 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේදී පැන නැගී ඇති ගැටලුකාරී තත්වය

2019 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ කඩඉම් ලකුණු පසුගියදා නිකුත් විය. මෙවර නව හා පැරණි විෂය නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන් කාණ්ඩ දෙකක් සිටි අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදීමේදී පොදුවේ විද්‍යා විෂය ධාරාවල නව නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන්ටත් අනෙකුත් විෂය ධාරාවල පැරණි නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන්ටත් අසාධාරණයක් සිදු වී ඇති බවට ඔවුන් විසින් අප වෙත දැනුම් දී ඇත.

තමන්ට හිමි වූ විභාග ප්‍රතිඵල හා ’ අගයන් අනුව සහ පෙර වර්ෂවලදී තම දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාලවලට බඳවාගත් සිසුන් ප්‍රමාණය අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳව බලාපොරොත්තු රඳවා සිටි සිසු දරුවන් විශාල ප්‍රමාණයකගේ අපේක්ෂා බිඳ වැටී තිබේ. එසේම විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කරන ලද්දේ මෙවර උසස්පෙළ විභාගය පවත්වන අතරතුරදීම නිසා එම දරුවන්ට මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමේ අවස්ථාවද අහිමි විය.

පැරණි හා නව නිර්දේශ දෙකෙන්ම සිසුන් බඳවා ගැනීමේදී 2011/12 අධ්‍යයන වර්ෂයේදී මෙන් ගැටලුවක් පැන නැගී ඇති බවද එයට විසඳුම පසුගිය වසර 05 තුළ පළමුවර හා දෙවැනිවර/තෙවැනිවර විභාගයට පෙනී සිට එක් එක් පාඨමාලාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව ඇතුළත් කරගැනීම බවද 2020.02.18 දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් අප විසින් පෙන්වා දෙන ලදී. එම ගැටලුව පිළිගත් එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සියලු සිසුන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි.

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී පසුගිය වසර 05 තුළ බඳවාගත් උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව වෙනුවට සංයුක්ත මධ්‍යන්‍යය භාවිත කර මෙවර සිසුන් ඇතුළත් කර ගැනීමට යාම මෙම ගැටලුව පැනනැගීමට හේතුව බව පෙනේ. එනිසා එක් එක් පාඨමාලාව සඳහා බඳවාගත් උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව බඳවාගෙන සියලු සිසුන්ට සාධාරණයක් ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටිමි.

එසේම ඒ අනුව දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පැරණි හා නව නිර්දේශ යටතේ එක් එක් දිස්ත්‍රික්කයෙන් එක් එක් පාඨමාලාවලට බඳවා ගැනීමට යෝජිත සිසුන් ප්‍රමාණය ප්‍රසිද්ධියට පත්කර මෙම ක්‍රියාවලියේ විනිවිද පෙනෙනසුළුභාවය සහතික කරන මෙන්ද ඉල්ලා සිටිමි.

විජිත හේරත්

පාර්ලිමේන්තු මන්ත්‍රී

2020.11.03

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here