ඓතිහාසික මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ආරම්භ විය.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා මෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ වැඩ ආරම්භ කරනු ලැබූ අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු පාදස්පර්ශය සිදුවූ ස්ථානය සේ සැලකෙන “චන්ද්‍රකාන්ති පාෂණය” පිහිටි සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.

මිහිඳු මහා සෑය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිතුමා සෑ රදුන් අභියස පැවති ආගමික උත්සවයට සහභාගී විය. එහිදී අනුශාසනා කළ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, ජපානය ඇතුළු අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සී හිමි සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණවංශ පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි නිදහස් පරිසරයක් සහිත සංවර්ධිත රටක් ගොඩනැගීමට ජනාධිපතිතුමාට සහාය විය යුතු බව සඳහන් කළහ.ශ්‍රේෂ්ඨ නායකයෙක් රට භාරගෙන ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ සියලු මතවාද, මතභේද අතහැර ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරව රට ගොඩනැගීමට සක්‍රීය ව දායක විය යුතු බව අවධාරණය කළහ.

තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝදාගම චන්දිම හිමි ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරු හා ජනතා නියෝජිතයන්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු හා ආරක්ෂක ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here