ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතුයි – ජනපති

ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකාවට අලුතින් පත් කෙරුණු තානාපතිවරුන් සිව් දෙනෙකු අද (30) පෙරවරුවේ ජනාධිපතිතුමා වෙත අක්ත පත්‍ර පිළිගැන්වූ අවස්ථාවේදී.

මෙසේ අක්ත පත්‍ර පිළිගැන්වූයේ කොරියානු ජන රජය, ජර්මනිය, වතිකානය සහ ස්විට්සර්ලන්තය යන රාජ්‍යයන්හි නව තානාපතිවරුන් වේ.

අක්ත පත්‍ර භාර ගැනීමෙන් පසු නව තානාපතිවරු සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා “ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා. ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙණුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස. ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි” යැයි පැහැදිළි කළේය.

චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ‘ණය උගුලක සිරවීමක්’ ලෙස ඇතැම් පාර්ශ්ව හැඳින්වුවද හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට බදු දුන් නමුත් එය භාවිත කරන්නේ වාණිජ අරමුණු සඳහා පමණකැයි ද එතුමා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here