“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ සමුළුවේදී ජනපති කියයි

“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටි. “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nation We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන්, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරිත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

2019 වසරේ ජුනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර වූ එකඟතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව ඊයේ (21) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 7.45ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 9.45ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීය.

මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් (Volkan Bozkır) සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස් 75 වන සමුළුවේ පළමු සහ දෙවන ප්‍රකාශ කළහ. රාජ්‍ය නායකයෝ 180 දෙනෙක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූහ.

කොවිඩ් -19 වසංගතය රටවල ආර්ථිකයන්, සෞඛ්‍ය පද්ධති අඩපණ කරමින් ලෝකය පීඩාවට පත් කර ඇත. දැනුවත් මැදිහත්වීමක් මගින් කොවිඩ් 19 අභියෝගයට සාර්ථකව මුහුණදීමට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය. ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනාගැනීමටත් පෙර කොවිඩ් නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කළ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සහ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ සිවිල් අධිකාරිය එම සංයුතියට ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගින්ගේ සුවවීමේ අනුපාතය 90% ඉක්මවන අතර, එය ගෝලීය සුවවීමේ අනුපාතයට ඉහළ අගයකි. “සොයා ගැනීම හා නිරෝධායනය” එම සාර්ථකත්වයට පිටිවහලක් වූ ප්‍රබලතම ශක්තිය බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ගත වූ මාසයකට වැඩි කාලයක් ඇතුළත කිසිදු කොවිඩ් ආසාධිතයෙකු රට තුළින් වාර්තා වී නැතැයි ජනාධිපතිතුමා කීය.

“ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය 2030” සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී. කෘෂිකර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාව පිටුදැකීම තම රජයේ ප්‍රධාන අභිමතාර්ථය බව ජනාධිපතිතුමා පැවසීය. ආනයන මත අර්ධ සීමා පැනවීම හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම වසර මුලදී දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට රජය ගත් ක්‍රියාමාර්ග කිහිපයකි. එමගින් අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි වූ බව ජනාධිපතිතුමා කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන් එහි සාමාජිකයෙකු වන අපගේ අනාගතය සහතික කිරීම පිණිස ඉවහල් වනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

එක්සත් ජාතීන්ගේ 75 වන සමුළුවට සමගාමීව, ඉහළ පෙළේ රාජ්‍ය නායක හමුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්
ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ප්‍රකාශය
( 2020 සැප්තැම්බර් 21)
සභාපතිතුමනි,
මහලේකම්තුමනි,
මැතිඳුනි,
ආයුබෝවන්!
මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේ සභාපති ධුරයට තේරී පත් වූ වොල්කන් බොස්කිර් මැතිතුමාට මගේ සුභාශිංසන පළ කරමි. මේ ඓතිහාසික අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව නියෝජනය කිරීමට ලැබීම මට මහත් ගෞරවයකි.
අවාසනාවකට මෙන්, අද ලෝකය මින් වසර 75 කට පෙර මේ ගෞරවනීය සභාවේ නිර්මාතෘවරු අපේක්ෂා කළ තත්ත්වයට වෙනස්ය. මාස කිහිපයක් ඇතුළත අපේ ආර්ථිකයන්, සෞඛ්‍ය පද්ධති සහ සැබැවින්ම අපගේ සමාජ අඩපණ කළ පෙර නොවූ විරූ කොවිඩ් – 19 වසංගතයෙන් ලෝකය පීඩාවට පත්ව ඇත.
දැනුවත් මැදිහත් වීමක් මගින් කොවිඩ් – 19 අභියෝගයට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකිවිය. අප කොවිඩ් – 19 නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කළේ ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනාගැනීමටත් පෙරය. අපේ ප්‍රවේශය ආරක්ෂක අංශ, සෞඛ්‍ය මෙන්ම ජාතික හා ප්‍රාදේශීය ම‍ට්ටමේ සිවිල් අධිකාරීන්ගෙන් සංයුක්ත විය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 රෝගීන් සුව වීමේ අනුපාතය සියයට 90 ඉක්මවන අතර එය ගෝලීය සුව වීමේ අනුපාතයට ඉහළ අගයකි. අපේ සාර්ථකත්වයට බොහෝ සේ පිටිවහලක් වූයේ අපගේ ප්‍රබලම ශක්තිය වන “සොයා ගැනීම හා නිරෝධායනයයි”. යන්න නිසාය.
ගත වූ මාසයකට වැඩි කාලය ඇතුලත කිසිදු කොරෝනා අසාධිතයෙකු රට තුළින් වාර්තා වී නැත.
ගරු රාජ්‍ය නායක / නායිකාවනි,
ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය 2030 සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී. කෘෂිකාර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාව පිටුදැකීම මගේ රජයේ ප්‍රධාන අභිමතාර්ථයකි.

අප වසර මුලදී දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග කිහිපයක් වන ආනයන මත අර්ධ සීමා පැනවීම හා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම මගින් අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවිය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා වසර 65 සමරන අපි එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රයට දායක වීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමු. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට මෙන්ම සංවිධානයේ විශේෂිත ආයතන සැලසුම් කරන වැඩසටහන් බොහොමයකට දායක වී ඇත.
ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටින මෙවන් සමයක, “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nations We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාව, භෞමික අඛණ්ඩතාවට දක්වන ‍ගෞරවය සහ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම යන පැතිකඩ නිසි අවධාරණයට ලක් කරන බව මම විශ්වාස කරමි.
ගරු මැතිඳුනි, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරීත්වය සහ එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැක්කේ සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන් බව මම තර‍යේ විශ්වාස කරමි.
එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් වන අප අපට අවශ්‍ය අනාගතය සහතික කිරීම පිණිස මෙම ශ්‍රේෂ්ඨ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නෙමු.
අපේ ජනතාවට සහ අනාගත පරම්පරාවන්ට එකී වගකීම ඉටු කිරීමට අපි බැඳී සිටින්නෙමු.
ස්තූතියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here