‘ඩෝසරයට එරෙහිව ’ සම්මන්ත්‍රණ මාලාවක් රටපුරා

පරිසර විනාශයට එරෙහිව ‘ඩෝසරයට එරෙහිව – පරිසරය වෙත යළි හැරෙන කතාබහක්’ යනුවෙන් සම්මන්ත්‍රණ මාලාවක් රට පුරා පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ “සියල්ලට මිලක් නියම කරන කෑදර ධනවාදයට පරිසරය සම්බන්ධයෙන්ද ඇත්තේ ඊට වෙනස් අදහසක් නොවේ. එවැනි සමාජ ආර්ථික ක්‍රමයක් තුළ කොල්ලකාරී බහුජාතික සමාගම් හා එක්වී පරිසරයෙන් ලාභ සොයා යන දේශීය නියෝජිතයින්ට ව්‍යාජ දේශප්‍රේමී පාලකයින්ගේද නොමද සහය ලැබෙන විට පරිසරයට අත්වන ඉරණම අද අප අත්දකිමින් සිටින යථාර්ථයයි. ඉදින් එවැනි තත්වයක් තවදුරටත් පැවතුණහොත් රටේ අනාගත පරපුරට අවසානයේ උරුම වනු ඇත්තේ ඇළ දොළ ගංගා සිඳී ගිය, ජීවයෙන් තොර මුඩුබිමක් පමණි.

පිරිසිදු භූමියක, නිල්වන් ජල පද්ධතියක්, සුපවිත්‍ර වායුගෝලයක් සහ සුරක්‍ෂිත සුන්දර පරිසරයක් යන්න සිහිනයක් පමණක් නොවනු වස් සැබෑ දේශප්‍රේමීන්ට, පරිසරප්‍රේමීන්ට මතු නොව මානව පැවැත්මේ ඉදිරිය පිළිබඳ සිතන සියලු මිනිසුන්ට මෙම විනාශයට එරෙහිව පෙළගැසෙන්නට බලකරනු ලැබ තිබේ. ‘ඩෝසරයට එරෙහිව’ නැගෙන හඬ ඒ සියලුදෙනාගේ බලාපොරොත්තුවය; ක්‍රියාකාරිත්වයය.” යනුවෙනි.

මෙහි ආරම්භක සම්මන්ත්‍රණය ජවිපෙ මධ්‍යමකාරක සභික සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිලීප විතාරණ මහතාගේ සහභාගිත්වයෙන් මාතලේ මහත්මා ගාන්ධි ශාලාවේදී දෙසැම්බර් 28 සවස 3.30ට පැවැත්වේ.

සෙසු සම්මන්ත්‍රණ ඉදිරි දිනයන්හිදී පහත නගරවලදී සිදුකෙරේ.

ඒ අනුව හම්බන්තොට – ජනවාරි 09, කොළඹ – ජනවාරි10, මහනුවර – ජනවාරි 15, බණ්ඩාරවෙල – ජනවාරි17, මොණරාගල – ජනවාරි13, ගම්පහ – ජනවාරි18, අම්පාර – ජනවාරි 19, ත්‍රීකුණාමලය – ජනවාරි 26 පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here