ආචාර්ය ආශා ඩි වොස් – 2020 වසරේ සාගර වීරවරිය ලෙස නම් කරයි

ශ්‍රී ලංකීය සමුද්‍ර ජීව විද්‍යඥවරියක වන ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය සුප්‍රකට Scuba Diving නම් සගරාව විසින් “ 2020 වසරේ සාගර වීරවරිය ” ලෙස නම් කර තිබේ.

මෙම සම්මානයක් සමඟ අයගේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් 5000 ක මුදල් ත්‍යාගයක්ද හිමි වනු ඇත.

41 හැවිරිදි ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය සාගර ක්ෂීරපායින් පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා වන අතරම BBC පුවත් සේවය 2018 වසරේදී ලෝකයේ වඩාත් ම බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනා අතරටද ඇයගේ නම ඇතුලත් කර තිබුණි.

“ 2020 වසරේ සාගර වීරවරිය ” නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය කියා සිටියේ සාගර සංරක්ෂණ ක්‍රියාවලියේදී එයට කැපවන සහ සංරක්ෂණය කළ යුතු අංග හඳුනා ගෙන ඒවාට විසඳුම් සොයන පිරිසක් රටකට ඉතාමත් වටිනා බවය. එවැනි අයට නිසි මාර්ගෝපදේශනයක් ලබා දිය යුතු යැයිද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

සාගර විද්‍යා විෂය තනිව ඉගෙන ගනු ලැබු අයෙකු ලෙස , සාගරය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසට උදව් කිරීම සේම , සාගර සංරක්ෂණය පිළිබඳ ඇල්මක් ඇති අයට මේ අවස්ථාව හොඳ උත්තේජනයක් වනු ඇතැයිද ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

ප්‍රකට අත් ඔර්ලෝසු සන්නාමයක් වන සීකෝ ආයතනය විසින් ඇයට මෙම මුදල් ත්‍යාගය පිරිනමා ඇති අතර එම සමාගම අදාළ මුදල් ත්‍යාගය ලබා දෙමින් සදහන් කර ඇත්තේ සාගර පරිසරය සුරැකීම වෙනුවෙන් ආශා ඩි වොස් මහත්මිය සහ සාගර විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් වෙනුවෙන් මෙය ලබා දෙන බවය.

ආශා ඩි වොස් මහත්මිය ඉකුත් ඔක්තෝබර් මාසයේදී මෙරට පානදුර වෙරළ තීරයට ගොඩ ගැසූ සියයකට ආසන්න නිල් තල්මසුන් සංඛ්‍යාවක් යළි මුහුදට හරවා යැවීමේ කර්තව්‍යයට සහභාගී වූ ප්‍රධාන සාගර විද්‍යාඥවරිය ඇයවූ අතර ස්කූබා ඩයිවින් සගරාව විසින් “ 2020 වසරේ සාගර වීරවරිය ” ලෙස ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය නම් කිරීමට එය හේතුවක් ද වී ඇත.

https://www.scubadiving.com/asha-de-vos-named-2020-sea-hero-year?fbclid=IwAR2KRG5dUS7FCUhUq78s6Ic4iQlDGxSeMUiHGNEo1QP8QOlz5tNRr0j_2Fk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here