වී – සහල් ගැසට් අර්බුදය

උපරිම මිලට සහල් දෙන්න බෑ 

රජය විසින් පනවා තිබෙන උපරිම මිලට සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් විශාල පාඩුවක් දැරීමට සිදුවන බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් පවසයි. එම නිසා ඊයේ (6 ) සිට සහල් නිෂ්පාදන කටයුතු නතර කරන බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මාධ්‍යයට ප්‍රකාශ කළේය.

අලුතින් ගැසට් කරන ලද තොග මිල ගණන් කන්නය ආරම්භයේදීම නියම කරනු ලැබුවේ නම් තමන්ට වැඩි මිලට වී මිලදී ගැනීමට සිදුනොවන බවද ඔහු පවසයි.

සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් 700ක් පමණ දැඩි අසීරුතාවට පත්ව සිටින බවයි ඔහු පවසන්නේ. සහල් නිෂ්පාදනය පමණක් නොව වී තොග රැස් කරන්නන්ගෙන් වී මිලදී ගැනීමද නතර කරන බව සභාපතිවරයා සඳහන් කරයි.

තැන විසින් වැඩි මිලට ගත් වී වලින් නිෂ්පාදනය කරන සහල් තොග රජයේ උපරිම මිලට නිකුත් කිරීම නිසා තමන්ට සහල් කිලෝවකින් රුපියල් 24-25ක පාඩුවක් දැරීමට සිදුවන බව ද එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් කියා සිටියි.

ඔවුන් පවසන ආකාරයට වී තොග රැස් කරන්නන්ගෙන් සම්බා වී කිලෝවක් රුපියල් 73.40කටද, නාඩු සහ කැකුළු වී කිලෝවක් රුපියල් 62.50කටද මිලදී ගැනීමට සිදුව තිබේ. මෙලෙස වැඩි මිලට ගත් වීවලින් සහල් නිෂ්පාදනය කර රජය සඳහන් කරන උපරිම මිලට අලෙවි කිරීමට තැනට කිසිසේත්ම නොහැකි බවයි සහල් මෝල් හිමියෝ කියා සිටිති.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙරේදා (4 වැනිදා) රාත්‍රී නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සුදු/රතු සම්බා රුපියල් 94ක්, සුදු/රතු නාඩු 92 කටද, සුදු/රතු කැකුළු රුපියල් 89ක උපරිම මිලක කිලෝවක් වෙළෙඳපොළට නිකුත් කළ යුතු ය.

ප්‍රවාහන අපහසුතා නිසා වී තොග නොලැබීමෙන් හාල් මිල ඉහළ ගියා

මේ අතර රට තුළ වී හිඟයක් නොමැති බවත් කොරෝනා වසංගතය සමග ප්‍රවාහන අපහසුතා පැන නැගී වෙළෙඳ පොළට වී තොග නොලැබීම නිසා හාල් මිල ඉහළ ගොස් ඇති බවත් මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පවසයි.

වී හිඟයක් නොමැති වුවත් වී මිල ඉහළ යාම, හාල් මිල ඉහළ යාමට හේතුව බවයි ඔහු පවසන්නේ. මෙම තත්ත්වය ජනවාරි මස අවසාන වන තෙක් පවතින බවද ඇමතිවරයා සඳහන් කළේය.

පසුගිය කන්න දෙකක සාර්ථකව වී අස්වැන්න වැඩි වී තිබුණද ප්‍රවාහන අපහසුකම් ඇති වීම රට පුරා හාල් මිලට බලපා ඇති බවත් ජනවාරි මස මහ කන්නයේ අස්වැන්න ලැබීම සමග හාල් මිල යලි පහළ යනු ඇති බවද ඇමැතිවරයා විශ්වාසය පළකරයි.

ආණ්ඩුව කියන ගාණට හාල් නැහැ

මේ අතර රජය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රවල සඳහන් වන උපරිම මිල සීමාවන්ට අනුව සහල් බලාපොරොත්තු වන කිසිවෙකුටත් බත් කන්නට බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ගැසට් ගසා වෙළෙඳපොළ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම අපහසු බව වත්මන් රජය අවබෝධ කරගත යුතු බව මන්ත්‍රීවරයා පවසයි. මීට පෙර නිකුත් කළ ගැසට් පත්‍ර හතරේම සඳහන් වූ උපරිම මිල සීමාවන්ට යටත්ව පාරිභෝගිකයාට වෙළෙඳපොළේ සහල් සොයා ගැනීමට නොහැකි වූ බව ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“රජය සිදුකළ අත්තනෝමතික දේවල් නිසා මෙරට සහල් පාරිභෝගිකයාට මේ වනවිට වන්දි ගෙවීමට සිදුවෙලා. වාර්තාගත වී අස්වැන්නක් ලැබිලා තියෙද්දිත් සහල් මිල පාලනය කිරීමට බැරිවෙලා. සහල් මිල පාලනය කිරීමට රජය විසින් පස්වන පාරටත් ගැසට් එකක් ඊයේ ප්‍රකාශයට පත්කරා. ඒකේ තියෙන්නේ සුදු, රතු සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 94 ක උපරිම මිලක් කියලා. සුදු,රතු කැකුළු සම්බා සහල් කිලෝවකට රුපියල් 94 ක උපරිම මිලක්ද, සුදු, රතු නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 92 ක සහ සුදු, රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89 ක උපරිම මිලක් නියම කළා. මේ සහල් නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාට අලෙවි කළ යුතු මිල”

“ගැසට් පිට ගැසට් දැම්මත් වෙළෙඳපොළේ සම්බා සිල්ලර කිලෝවක ඇත්ත මිල රුපියල් 125ක්. නාඩු කිලෝවක් රුපියල් 105 – 110 ත් අතර. කිරී සම්බා සහල් කිලෝවක් රුපියල් 140-150 ත් අතර වෙනවා. කැකුළු සහල් කිලෝවක සැබෑ සිල්ලර මිල රුපියල් 100 – 105 අතර මිලක්. මේ තමයි වෙළදපොළේ ඇත්ත ගණන්..” යයි මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here