විදේශ සබඳතාවලදී රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට මුල් තැන – ජනපති

අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැපකිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා හමුවේ අවධාරණය කලේය.

ඊයේ දිවයිනට ළඟා වූ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිස අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රි ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වා ගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන බවත් ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානය ගන්නා බවත් මෙහිදී ජනාධිපතිවරයා විසින් අමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තිබේ.

බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිර වූයේ නැතැයි අවධාරණය කර තිබේ.

දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව එහිදී රාජ්‍ය ලේකම්වරයා පවසා තිබේ.

ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා මෙරට තුළ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බව පවසා තිබේ.

”සංචාරක ව්‍යාපාරය රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප්‍රධාන ක්ෂේත්‍රයකි. විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට තම රට සූදානම්,” බව රාජ්‍ය ලේකම්වරයා පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

”විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පරිපාටි ඉවත් කිරීම අපි දැනටමත් පටන් අරන්. ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක් . අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා කළයුතු වන විද්‍යාත්මක පර්යේෂණ සඳහා අපට සහය වන්න” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර දිගු කලක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ වී තිබේ.මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයනට අමෙරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර ඊට අයත්ය.

මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇති අතර ඊට සහයවීමට අමෙරිකාවට හැකි බව රාජ්‍ය ලේකම් පොම්පෙයෝ මහතා සඳහන් කර තිබේ.

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමරිකාවේ අපේක්ෂාව බව කියා සිටි රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැන ඔහුගේ සතුට පළ කෙරිණ. ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේ ද අභිලාෂය බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට ද මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය එකඟ වූහ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, සහය රාජ්‍ය ලේකම් බ්‍රයන් බුලතාවෝ, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්ප්සන් සහ රාජ්‍ය ලේකම්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේරි කිසල් යන මහත්ම මහත්මීහූ එක්සත් ජනපද දූත පිරිසේ සෙසු සාමාජිකයෝ වූහ.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට නම් කරනු ලැබ සිටින රවිනාථ අර්යසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here