VIDEO: ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දේශපාලනයේ ගොදුරක් වෙලා – NIO

නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ශ්‍රී ලංකාව මෑත කාලීනව අනුගමනය කළ අසාර්ථක විදේශ ප්‍රතිපත්ති නිසා ජාත්‍යන්තර බලවතුන්ගේ ගොදුරක් බවට පත්වී තිබෙන බව ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

ඒ අද (26) බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කලේ, චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙරටට පැමිණ ආපසු ගිය වහාම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙරටට පැමිණෙන බවට වාර්ථා වූ බවත් ඊට සමගාමීව ඉන්දියානු කොන්සල්වරයෙක් දකුණු පළාත සහ මොනරාගල දිස්ත්‍රික්ක ආවරණය කිරීම සඳහා පත්කළ බවත්ය.

එසේම ඇමරිකාව දැඩි ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව ඉදිරියේදී ගනුදෙනු කරන්නේ කුමන පාර්ශ්වයක් සමගද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ යුතු බවට දන්වා තිබූ බව සඳහන් කළ මහාචාර්යවරයා පැවසුවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ශ්‍රී ලංකාව මෑත කාලීනව අනුගමනය කළ අසාර්ථක විදේශ ප්‍රතිපත්ති නිසා ජාත්‍යන්තර බලවතුන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කලේ, ඇමරිකාව ශ්‍රී ලංකාවට පාර්ශ්වයක් තෝරා ගන්නා ලෙස නිකුත් කරන ලද නිවේදනයට චීනය ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත්වීම ඉතා බිහිසුනු අනතුරක පෙර ලකුණක් බවත් මෙම ප්‍රකාශ දෙකෙන්ම පැහැදිළි වෙන්නේ ජාත්‍යන්තර දේශපාලනයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් ය.

”දීර්ඝ කාලයක් තිස්සේ පාලනය කළ කණ්ඩායම් අපේ රට ගෙනවිත් තිබෙන තැන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ජාතික විද්වත් සංවිධානය සතු වගකීමක්. මේ රටේ පුරවැසියන් පවතින තත්වය හරියටම තේරුම් ගත්තේ නැත්නම් අපේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය අවසන් වෙන තත්වයක් නිර්මාණය වෙනවා. ණය උගුලක රට හිරවීම හමුවේ ජාත්‍යන්තර බලවතුන්ට ලංකාව රිසි සේ හැසිරවිය හැකි තත්වයකට පත්වෙලා. ඒ නිසා නිදහස් ශ්‍රී ලංකාවක් පිළිබඳ පිළිගන්න සියලුදෙනා මීට එරෙහිව නැගී සිටිය යුතු බව ජනතාවට අවධාරණය කරනවා. ඒ වගේම රජයට අවධාරණය කරන්නේ විදේශීය නියෝජිතයන් සමග සිදුකරන සාකච්ඡා සහ ඔවුන් සමග එකඟ වන කරුණු මෙන්ම එකඟ වන කොන්දේසි පිළිබඳවත් රටට හෙළිකළ යුතු බවයි. නොපෙනෙන අනතුරක රට තිබෙන බවත් 1987 ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇතිකළ ඉතා අහිතකර බලපෑමටත් වඩා දරුණු තත්වයක් ඇතිවෙමින් තිබෙන බවත් අපි ජනතාවට අවධාරණය කරනවා.”යනුවෙන්ද මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කලේය.

එම මාධ්‍ය හමුව සඳහා ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික කමිටුවේ සභාපති, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ජාතික විද්වත් සංවිධානයේ විධායක කමිටු සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක මහතා එක්වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here