දේශපාලන, ආර්ථික හා මිලිටරි පෙරමුණු රාශියකින් ඇමරිකාව පසුබසි ?

කොරෝනා වසංගතය අවසානයේදී ලෝක බලය කාහටද ? දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලෝක බලවතා වූ ඇමරිකන් එක්සත් ජනපදයේ බලය උග්‍ර වී ඇති කොරෝනා වසංගතය නිසා මුහුණ දී ඇති දැඩි ආර්ථික, දේශපාලන අර්බුධය නිසා දේශීයව මෙන්ම හා ජාත්‍යන්තර තලයේත් විශාල පසුබෑමකට හා අභියෝගයට ලක්වී ඇතිබව රාජතාන්ත්‍රික නිරීක්ෂකයන්ගේ මතයයි. විශේෂයෙන් ඉරානය, කියුබාව රාජතාන්ත්‍රික තලයේ ලබා ගත් නව ජයග්‍රහණත්, උතුරු කොරියාව නව මිසයිලයක් හඳුන්වාදීමත් , ලතින් ඇමරිකානු රටවල නැවතත් වමේ ප්‍රගතිශීලි ආණ්ඩු බලයට ඒමේ ප්‍රවණතාවයත් ට්‍රම්ප්ගේ මැතිවරණ ජාලයට සෘජුවම බලපා තිබේ.

පසුගිය අගෝස්තු මස සිට ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව පනවා ඇති ආයුධ මිලට ගැනීමේ අයිතිය තහනම් කිරීමේ සම්බාධක ඉවත් කිරීමට එරෙහිව ඇමරිකාව සකසන ලද යෝජනාව මෙම මස 18 වැනිදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී පරාජය වන ලදි. තම යෝජනාව ජයග්‍රහණය කරගැනීම සඳහා ඇමරිකන් නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද හේතුන්වල කිසිදු පදනමක් නැති බව ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් බහුතරයකට තේරුම් ගොස් තිබිණි.

2015 එජා සංවිධානයේ 2231 යෝජනාව යටතේ ආරක්ෂක මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ගේ ඒකත් චන්දයෙන් සම්මත වූ යෝජනාව 2020 ඔක්තෝබර් 18 එම මණ්ඩලය තුලදීම පරාජය කරගැනීමට හැකිවීම ඉරානය ලැබූ ජයග්‍රහණයක් වේ. එහිදී යෝජනාවට පක්ෂව චන්ද 2ක් හා විරුද්ධව චන්ද 2ක් ලැබුණු අතර සාමාජික රටවල් 11ක් චන්දය දීමෙන් වැලකී සිටියහ. යෝජනාව සම්මතවීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 9ක සහය අත්‍යවශ්‍ය වී තිබිණි. මෙම සම්භාධක ඉවත් වීමෙන් පසුව ඉරානයට ආයුධ විකිණීමේ අයිතිය මෙන්ම වෙළඳ හා අනෙකුත් දිවිපාර්ෂික සම්බධතා වර්ධනය කරගැනීමට චීනයට හා රුසියාවට මේ අනුව අවස්ථාව හිමිවේ.

යෝජනාව පරාජය වීමෙන් පසු ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ,“ඇමරිකාව 1945 සිට ගොඩනැගු අධිරාජ්‍යයේ අවසානය සිදුවූ ඓතිහාසික දිනයක් ලෙස 2020 ඔක්තෝබර් 18 වැනිදා සැලකිය හැකියි. ආරක්ෂක මණ්ඩලයේ යුරෝපිය රටවල් පවා ඇමරිකාව ප්‍රතික්ෂේප කරමින් චන්දය දීමෙන් වැලකි සිටීමෙන් පැවසෙන්නේ ලොවපුරා ඔවුන්ගේ චන්ඩි යුගය අවසාන බවයි.”යනුවෙනි.

එසේම සමාජවාදී කියුබාවද නැවත වරක් එජා සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ සාමාජික රටක් ලෙස 190ක් වූ සාමාජික රටවල් අතරින් රටවල් 172 ක සහයෙන් තේරී පත්විණි. යෝජනාව පරාජය කරලීම සඳහා ඇමරිකාව හා මියාමියේ වසන කියුබානු ප්‍රතිවිප්ලවාදීන් මෙන්ම ඊශ්‍රාලයද විශාල උත්සහයක් දැරුවද කොරෝනා වසංගතයට එරෙහිව කියුබාව සිදුකරමින් සිටින ඓතිහාසික කාර්‍යභාරය අවතක්සේරු කර කියුබාව ලෝකයේ තනිකිරීමට ඔවුන් අසමත්විනි.

එසේම පසුගිය ඔක්තෝබර් 10 වැනිදා උතුරු කොරියානු කම්කරු පක්ෂයට වසර 75ක් පිරිම නිම්ත්තෙන් එහි නායක කිම් ජෝන්-උන් ගේ නායකත්වයෙන් දැවැන්ත මිලිටරි සංදර්ශනයක් පවත්වන ලදී. එහිදී ප්‍රදර්ශනය කෙරෙනු උතුරු කොරියාව විසින් අත්හදා බලනලද මීටර් 25ක් දිග දැවැන්ත බැලස්ටික් මිසයිලය මගින් උප මිසයිල 12-16 ප්‍රමාණයක් ඇමරිකාවේ නගර රාශියක් ඉලක්ක කර විදීමේ හැකියාව පවතින බවත් උතුරු කොරියාව ලෝකයේ න්‍යෂ්ටික අවි හිමි තෙවන බලවත් රට බවට පත්ව ඇති බව න්‍යෂ්ටික අවි සම්බන්ධ විශාරදයින් පවසති. මෙම දැවැන්ත මිසයිලයෙන් පිටවන එක් මිසයිලයකට මුහුණ දීම සඳහා යුරෝ මිලියන 740ක් දැවැන්ත වියදමක් දැරීමට ඇමරිකාවට සිදුවන බවද ඔවුන් සඳහන් කරති.

බොලියාවේ නැවතවරක් සමාජවාදී රජයක් බලයට පත් වීමත්, සමග තවත් පෙරමුණක පරාජයක් අත්විඳීමට එක්සත් ජනපදයට සිදු විය. ඇමරිකාවේ දේශපාලනය තීරණය කරනු ලබන්නේ ජාත්‍යන්තර තලේ සිදුවන හැලහැප්පීම වලදී ඇමරිකාවේ චන්ඩි ක්‍රියාකලපන් මත වේ. ඉහත සිදුවීම් ඇමරිකන් ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මකව විශේෂයෙන්ම ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රවාහය වෙත ඉතා අහිතකර ලෙස බලපානු ඇතිබව ජාත්‍යන්තර නිරීක්ෂකයන් ගේ මතයයි.

  • lankatruth.com –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here