ප්‍රතිඥා දුන් පරිදි මහා සංඝරත්නයටඅනුගතව ක්‍රියාකරන්න – ඕමල්පේ සෝභිත හිමිගෙන් 20 ගැන ජනපතිට ලිපියක්

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වමින් “හෙළ බොදු සවිය” සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත නාහිමි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

ඊයේ (18) ජනාධිපතිවරයාට යොමු කල එම ලිපියෙන් උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ “මේ රටේ සාසනික හා සමාජ මෙහෙවරේ විවිධාකාරයෙන් කැපවී සිටින භික්ෂූන්වහන්සේලාගේ අප්‍රසාදය මේ වනවටිත් පල වී ඇත. එමෙන්ම අගරදගුරු මණ්ඩලයේද සිවිල් සංවිධානවලද විරෝධය පල වී ඇත. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනනායකයා වශයෙන් එම අදහස් උදහස් පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත. ”යනුවෙනි.

දුන් ප්‍රතිඥාවලට පටහැනි අයුරින් අත්තනෝමතිකව ක්‍රියා කලහොත් ඒ මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි බලවත් ජනතා අප්‍රසාදයක් එල්ලවනු ඇති බවත් උන් වහන්සේ මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඕමල්පේ සෝභිත හිමියන් ජනාධිපතිවරයාට යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්….

පිංවත් ජනාධිපතිතුමනි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝයා වහන්සේගේ අනුශාසනා පිළිබදවයි.

දැනට ගැසට් කර ප්‍රකාශයට පත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ මස 21, 22 දිනවල පාර්ලිමේන්තු විවාදයට යොමු කිරිමට නියමිත ය. ඒ සම්බන්ධයෙන් මේ රටේ ශාසනික හා සමාජ මෙහෙවරේ විවිධාකාරයෙන් කැපවී සිටින භික්ෂුන් වහන්සේලාගේ අප්‍රසාදය මේවන විටත් පල වි ඇත.

එමෙන් ම අගරදගුරු මණ්ඩලයේ ද, සිවිල් සංවිධානවල ද විරෝධය පළවී ඇත. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජන නායකයා වශයෙන් එකී අදහස් උදහස් පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත.

ඔබතුමා බලයට පැමිණ රුවන්වැලි සෑරදුන් අභියසදීත්, රාජාසන කතාවේදීත්, තමා කෙරහි විශ්වාසය තබා රටේ නායකත්වයට පත්කළ මහා සංඝරත්නයට ද සිංහල බෞද්ධ ජනතාවට ද අනුයෝගීව හා අනුගතව ක්‍රියා කරන බවට තබන ලද ප්‍රතිඥාව මෙහිලා සිහිපත් කරනු කැමැත්තෙමු.

එම ප්‍රතිඥාවට ද පටහැනි අයුරින් අත්තනෝමතිකව ක්‍රියා කලහොත් ඒ මගින් ඔබතුමා කෙරෙහි බලවත් ජනතා අප්‍රසාදයක් එල්ලවනු ඇති බව ද නිසැක කරුණකි. එය රටේ සංවර්ධන කාර්යට ද හානිකර ප්‍රතික්‍රියා නිර්මාණය කරනු ඇත.

ඒ නිසා ඔබතුමා කෙරෙහි තබන ලද විශ්වාසය පළුදු නොවන පරිදි පුජනීය මහා සංඝයා වහන්සේගේ අනුශාසනා හා අදහස් පිළිබඳව විශේෂ අවධානයෙන් යුතුව ක්‍රියා කිරීමට අප්‍රමාදීව පියවර ගැනීම ඔබතුමන් ප්‍රධාන රජයෙත්, රටෙත්, ජනතාවගේත්, යහපත පිණිස ම හේතුවන බව කාරුණිකව දන්වා සිටිමු.
මෙයට ශාසනස්ථිතිකාමී,

ඕමල්පේ සෝභිත නාහිමි
හෙළ බොදු සවිය – ප්‍රධාන අනුශාසක

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here