2019 වසරේ සරසවි කඩයිම් ලකුණු වහාම ප්‍රකාශ කරන්න – SSU

පසුගිය වසරේ (2019) උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා බඳවාගැනීමේ කඩයිම් ලකුණු සීමා තවමත් ප්‍රකාශයට පත්කර නොමැති බැවින් එම සිසුන් මහත් පීඩාවකට පත්ව ඇති බව සමාජවාදී ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

ඊයේ (11) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යවරුන්ද ඇතුළුව මෙරට අධ්‍යාපන බලධාරීන් විසින් විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම නිසා වසරක් පාසා උසස් පෙළ සමත් සිසුහු මෙම ගැටලුවට මුහුණදෙමින් සිටින බවත් මෙවර එය තවත් සංකීර්ණ වී ඇති බවත්ය.

මෙසේ කඩයිම් ලකුණු ප්‍රකාශ කර නොමැති නිසා 2020 උසස්පෙළ සඳහා දැනටමත් දින නියමවී ඇති තත්වයක් තුල නැවත විභාගයට පෙනීසිටිනවාද නැද්ද යන්න පිළිබඳ තෝරාගත නොහැකි තත්වයකට සිසුන් පත්ව ඇති බවද ඒ මහතා කියා සිටී.

උසස්පෙළ විභාගය මාස කිහිපයකට පසුපසට ගිය තත්වයක් තුල හෝ ඊට පෙර කඩයිම් ලකුණු ඉදිරිපත් කිරීමට නොහැකිවීම පිළිබඳව අධ්‍යාපන බළධාරීන් වගකිවයුතු බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලබන සිසුන් ඇතුලත් විය හැකි උසස් තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලා (HND) , ජාතික තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලා (NDT) ආදී පාඨමාලා සඳහා ඇතුලත්කරගැනීම් සම්බන්ධව මේ වනවිටත් කටයුතු ආරම්භ වී තිබෙන අතර මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි වීමෙන් පසු  සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුව හොත් එම ලියාපදිංචිය අවලංගු කර සරසවියට ප්‍රවේශ විය නොහැකි බවට නීතීමය ප්‍රතිපාදන පවතින බැවින් සිය තෝරාගැනීම කුමක් විය යුතුද යන්න පිළිබඳව අවසන් තීන්දුවක් ගත නොහැකිව සිසුන් අසරණභාවයට පත්ව ඇති බව ද රංගන දේවප්‍රිය මහතා සඳහන්  කරයි.

මෙම කරුණු සම්බන්ධව අවධානය යොමුකර විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු කඩිනමින් නිකුත්කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here