ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දිගටම උදව් කරන බවට චීනයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහා අඛණ්ඩව උදව් කරන බව දිවයිනට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානී, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි මහතා (Yang Jiechi) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබේ.

ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි මහතා ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිස අද (09) අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී.

චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින අතර චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව ද චීන දූත පිරිසේ ප්‍රධානියා කියා මෙහි දී පවසා තිබේ.

දිගු කලක සිට චීන විදේශ අමාත්‍යාංශයේ විවිධ තනතුරුවල සේවය කළ යං ජියෙෂි මහතා 2001-2005 කාලයේ අමෙරිකා එක්සත් ජනපදයේ චීන තානාපති ධූරයත්, 2007- 2013 කාලයේ විදේශ අමාත්‍ය ධූරයත් හෙබවීය.

පසුගිය මහා මැතිවරණයේ දී අත්කරගත් විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කල ෂී ජින් පිං මහතා තමා වසර 35කට පෙර භාෂා පරිවර්තකයෙකු ලෙස චීන දූත පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි බව සිහිපත් කළේය. රටවල් 04ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ ඔහු චීන ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි පැවසීය.

චීන – ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් අවධිය ගැන සතුට පළ කරමින් සංවාදය ආරම්භ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීනය බලයේ සිටින ආණ්ඩු ගැන වෙනසක් නැතිව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගුකාලීන මිතුරෙකැයි හැඳින්වීය. ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනයෙන් ඉමහත් සහයෝගයක් ලැබිණු බවත් යුද්ධය අවසන් වීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා තවත් ඉහළ මට්ටමකට ළඟා වූ බවත් එහිදී ජනාධිපතිවරයා දූත පිරිසට පැවසීය.

දිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වය සිහිපත් කරමින් ජනාධිපතිවරයා ,හම්බන්තොට වරාය, වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය වැනි මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනය දායක වූ බව පැවසීය.

හම්බන්තොට වරායක් ඉදිකිරීමේ අදහස චීනයේ නොව ශ්‍රී ලංකාවේ බවත් එය ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බවත් සඳහන් කල ජනාධිපතිවරයා ඒ සඳහා අරමුදල් සම්පාදනය කිරීමට චීනය ඉදිරිපත් වීම බොහෝ භූ දේශපාලන විශ්ලේෂණවල අර්ථ කතනය කරන්නේ ශ්‍රී ලංකාවට චීනය ඇටවූ ‘ණය උගුලක’සිරවීමක් ලෙස යැයි පැවසීය.

නමුත් එය එසේ නොවන බවත්, මෙම මහා පරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජිවන මට්ටම වර්ධනය කිරිමට ඉවහල් වන බවත් අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීනයට සමාන සංවර්ධනයක් මව්බිමට උදා කිරීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම දියුණු කිරීම තමන්ගේ ඉලක්කය බව පැවසීය.

චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි පටන් ගැනීමටත්, හම්බන්තොට කර්මාන්තපුර යෝජනා ක්‍රමය ඉක්මණින් නිම කිරීමටත් සැලසුම් කර ඇතැයි ද චීන දූත පිරිසේ ප්‍රධානියා මෙහිදී පැවසීය.
කොවිඩ් 19 උවදුර සාර්ථක ලෙස පාලනය කළ පසු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නිල චාරිකාවක් සඳහා චීනයට එනු ඇතැයි ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින බවද යං ජියේෂි මහතා සඳහන් කළේය.

චීන අන්තර්ජාතික සහයෝගීතා සංවර්ධන අධ්‍යක්ෂ වෑං ෂියාඕ තාවෝ, චීන විදේශ අමාත්‍යාංශයේ සහාය අමාත්‍ය ඩෙං ලි, කොළඹ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානී හූ වෙයි, චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චෙං සොං, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබ සිටින ආචාර්ය පාලිත කොහොන යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here