ජානිපෙන් අගමැතිට ලිපියක්..

ජාතික නිදහස් පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.

එහි දැක්වෙන්නේ විසිවෙනි සංශෝධන පනත් කෙටුම්පතට අදාළව නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ තම පක්ෂයේ නායකයා විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවන බව කනගාටුවෙන් සඳහන් කළ යුතු බවයි.

නීතිපතිවරයාගේ යෝජනා තුළ අඩංගු නොවූ සංශෝධන අතුරින් ප්‍රධාන ත්‍රිත්වයක් ඉතා තීරණාත්මකව වැදගත් වන බවත් ඒවා පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති බවත් එම ලිපියේ සඳහන්.

එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බව ඔබතුමා ද පිළිගනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණ අග්‍රාමාත්‍යවරයා වෙත සඳහන් කර තිබේ.

  1. සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කොට ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් නිදහස් කිරීම.

  2. මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම.

  3. ද්විත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබ්බට තානාපතිවරුන් සහ රජයේ ප්‍රධාන උසස් නිලතලවලට ද පැනවීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම.

ඒ අනුව ආණ්ඩුවක් ලෙස එම වැරදි නිවැරදි කළ යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ ලෙස අවධාරණය කරන බව ද ලිපියේ සඳහන් ය.

මෙය ජනවරම ආරක්ෂා කිරීම සඳහා අප ගන්නා දේශපාලන ස්ථාවරයක් බවත් ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසළකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම බාර නොගන්නා බවත් මෙම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here