කොරෝනා ව්‍යාප්තිය – ජනාධිපති ලේකම් සහ රජයේ ආයතන, ජනාධිපතිගේ නිර්දේශ කඩයි !

කොරෝනා ව්‍යාප්තිය – ජනාධිපති ලේකම් සහ රජයේ ආයතන, ජනාධිපතිගේ නිර්දේශ කඩයි !

සපුගස්කන්දේ පිහිටි ට්‍රෙල්බෝර්ග් (TrelleBorg) ලංකා සමාගමට තම කටයුතු පවත්වාගෙන යෑමට අවසර ලබාදීමෙන් අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු රජයේ ආයතන, කොවිඩ්-19 ව්‍යාප්තිය අඩාල කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති පියවරවලට එරෙහිව කටයුතු කර තිබේ.

නිදහස් වෙළද කලාප පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස්ගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියකින්, එම සංගමය ඉල්ලා ඇත්තේ වහාම මෙම අත්තනෝමතික තත්වය වෙනස් කිරීමට මැදිහත් වන ලෙසයි. මාර්තු 19 වැනිදා ජනාධිපතිවරයා විසින් රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන කටයුතු නතර කළ යුතු බවට උපදෙස් ලබා දී තිබියදී, ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් අපනයන කර්මාන්ත අත්‍යවශ්‍ය සේවා ලෙස සලකා කටයුතු කරන ලෙස දන්වමින් ලිපියක් නිකුත් කර ඇති බවත්, එම ලිපිය යොදා ගනිමින් මෙම සමාගම ඇතුළු සමාගම් රැසක් තම සේවා පවත්වාගෙන යෑමට අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බවත් අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත් අවධාරණය කර ඇත. එම ලිපි යොදාගනිමින් අදාළ සමාගම සපුගස්කන්ද පොලිසියෙන් තම සේවකයන්ට ඇදිරිනීතිය කාල සීමාවේ සේවයට පැමිණීමට අවශ්‍ය අවසර පත්‍ර ද ලබා දී තිබේ.

මේ අතර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් රබර් ආශ්‍රිත සියලුම කර්මාන්ත අත්‍යවශ්‍ය සේවාවක් බවට නිවේදනය කරමින් ලිපියක් නිකුත් කිරීම ද මෙම සමාගම තම වාසියට යොදාගෙන ඇති බව පෙන්වා දෙන අදාළ සේවක සංගමය, අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළ හැක්කේ සර්ජිකල් අත් වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලා පමණක් බවද සදහන් කරයි. එහෙත් මෙම සමාගම අපනයනය සදහා ටයර් පමණක් නිෂ්පාදනය කරන සමාගමකි.

එසේම, බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ මෙවැනි කර්මාන්ත ශාලා කිහිපයක් ම මෙම රාජ්‍ය ආයතන ලිපි යොදාගනිමින් මේ වනවිටත් සේවා ආරම්භ කර තිබේ. එම කලාපයේ පිහිටි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් රබර් නිෂ්පාදන සමාගමක් ද හෙට සිට වැඩ ආරම්භ කරන බවත්, සියලු සේවකයන් සේවයට වාර්තා කළ යුතු බවත් දැනුම් දී ඇත.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය අඩාල කිරීම සදහා රජය ගන්නා පියවර අතර ඇදිරි නීතිය මූලික වේ. එසේම පුද්ගලයන් අතර දුරස්ථභාවය පවත්වාගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ. එසේ තිබියදී රජයේ මේ ක්‍රමවේදය කඩාකප්පල් කිරීමට රජයේ ආයතන, හාම්පුතුන් සමග එක්ව කටයුතු කිරීම බරපතළ තත්වයක් බව ද අදාළ ලිපිය මගින් නිදහස් වෙළද කලාප පොදු සේවා සේවක සංගමය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here