ඉන්ටර්නෙට් එකෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි පෙන්නුවොත් බලාගෙනයි…!

අන්තර්ජාලය හරහා රාජ්‍ය නිලධාරීන්ගේ අඩුපාඩු මතුකර පෙන්වමින් ඔවුන්ගේ රාජකාරිය විවේචනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ.

එම තැනැත්තන්ට එරෙහිව ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමටත් එම තැනැත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි පියවර ගන්නා ලෙසත් වැඩබලන පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දි ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් 2020 අප්‍රේල් 01 දහවල් නිකුත් කර තිබෙන නිවේදනයක් මගින් අවධාරණය කර ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයා විසින් එම උපදෙස් දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ලබා දී ඇති බවයි.

“අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ පළ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර” යන ශීර්ෂය යටතේ නිකුත් කර තිබෙන නිවේදනය මගින් සහතික කරන්නේ නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරවීම වැලැක්වීම සදහා රාජ්‍ය අංශයේ උපරිම දායකත්වය එම ආයතන වල සේවකයන් විසින් මනා කැපවීමකින් යුක්තව ලබා දෙන බවයි.

“එම රාජකාරිය විවේචනය කරමින් සහ එම නිලධාරීන්ගේ සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් ඉතා බරපතල ලෙස එම රජයේ සේවකයන්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ ඇතුලත් වීඩියෝ දර්ශන සහ වෙනත් පල කිරීම් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරන බවට වාර්තා වී ඇතැ” යි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ තව දුරටත් සදහන්ය.

කොරෝනා වෛරස් මර්දනය සදහා ආණ්ඩුව ව විසින් දියත් කරන වැඩ පිළිවෙලට සමගාමීව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකත් රාගම ප්‍රදෙශයේ සමෘධි නිලධාරීනියකත් ජනතාවට දැඩි ස්වරයෙන් තර්ජනය කරන ආකාරය දැක්වෙන දර්ශන ඇතුළු වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ පසු ගිය දින කිහිපය තුළ සංසරණය වු අතර එම නිලධාරීන් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාළ විරෝධයක් ඇතිවී තිබුණි.

විද්‍යුත් මාධ්‍ය පුරවැසියන්ට කරන අපරාධ

නමුත් විද්‍යුත් (ටෙලිවිෂන් සහ රේඩියෝ) මාධ්‍ය මගින් පුරවැසියන්ගේ අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීම ගැන පොලිසියට සහ අදාළ වග කිවයුතු බලධාරීන්ට පෙනී නැත

මෙවැනි අවස්ථාවල මිනිසුන්ගේ ජාති ආගම් අනුව රෝගී තත්ත්ව ප්‍රකාශ කිරීම. ඒ හරහා දැන හෝ නොදැන අවසාන ප්‍රතිඵලය ද්වේශය පැතිරවීමක් වීම.

ලොක්කන්ගේ මීඩියා

ශ්‍රී ලංකාවේ බොහෝ විද්‍යුත් මාධ්‍ය සඳහා දේශපාලනික ඉලක්කයක් ඇත. එය මෙවැනි වසංගත තත්වයකදී අඩු හෝ වැඩි විය හැකිය. නමුත් එම මාධ්‍ය හරහා අමු අමුවේ පුරවැසි අයිතීන් කෙලෙසීම් ගැන පොලිසිය සහ බලධාරීන් නිහඬ ය. සමහර විද්‍යුත් මාධ්‍ය තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයට විරුද්ධ ඕනෑම කෙනෙකුගේ චරිතය කෙලෙසන්නට දෙපාරක් හිතන්නේ නැත. තවත් සමහරු මිනිසුන්ගේ දුක වේදනාව වැනි සංවේදී අවස්ථා අමු අමුවේ විකුණන්නේ ය…. එකින් එක සටහන් කරන්නට ගියහොත් මේ සටහන අවසන් කරන්නට නොහැකි තරම් විද්‍යුත් මාධ්‍ය අපරාධ ඇත….

නමුත් අවාසනාව

විවේචන හෙවත් වැරදි පෙන්වා දීම තිබිය යුතුය. අපහාස හෙවත් චරිත ඝාතන නොතිබිය යුතුය. විනය යනු එයයි….

අප කිසිවෙකුගෙවත් වටිනා සේවය අවතක්සේරුවට ලක් කරන්නේ නැත. යම් කිසි කෙනෙකුගේ රාජකාරියක් සම්බන්ධයෙන් මෙතෙක් ඇතිවී තිබෙන බොහෝ විවේචන ඇතිවී තිබෙන්නේ, පැහැදිලිවම ඔවුන්ගේ රාජකාරියේ ඇති “ලෝකයට පෙනෙන” දුර්වලතා නිසාය. අඩුපාඩු දුර්වලතා සිදුවීම මනුස්ස ස්වභාවය වන නමුත්, අත්තනෝමතික ලෙස වගකීම් සහ රාජකාරි පැහැර හැරීම, අඩුපාඩු සිදු කිරීම විවේචනයට ලක්විය යුතු යයි පුරවැසියන් ලෙස අප සිතන්නෙමු.

නමුත් අවාසනාවකට විවේචනත් අපහාස ලෙස හඳුන්වා මේ කරන්නට යන්නේ තමන්ගේ අඩුපාඩු වසා ගැනීම දැයි අපට සැකයක් මතුවී ඇත….

සැලකිය යුතුයි…. මෙම ලිපියත් අපහාසයක් නොවේ.


ගයන්ත අධිකාරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here