එදත් රිවස් පෙත්ත ගහලා විමල් ලේ බැලීමට උත්සාහ කළා – ජනිපෙ හිටපු ලේකම්

මහර බන්ධනාගාරයේ රැදවියන් විසින් ” රිවස් ” නැමැති පෙත්තක් පානය කර ඇති බවත් එය පානය කල අය ලේ දැකීමට ආසාකරන බවත් එම ගැටුම පිලිබදව පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටි අතර එම රිවස් නැමැති පෙත්ත විමල් වීරවංශ මන්ත්‍රීවරයාද පානය කරනු ලබන බවට තමන් සැකකරන බව ජනිපෙ හිටපු ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා සිය මුහුනු පොතේ සටහනක් තබමින් පවසයි.

ප්‍රියන්ජිත් විතාරණ මහතාගේ මුහුණු පොතේ පලවු එම සටහන පහලින්..

එදත් රිවස් පෙත්ත ගහලා විමල් ලේ බැලීමට උත්සාහ කළා.
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධව අමාත්‍ය විමල් වීරවංශ මහතා අපූරු කතාවක් කළේය.ඔහු ජීවිතයේ පළමු වරට අප ඇසූ රිවෙස් පෙත්තක් ගැන විග්‍රහයක් කළේය.එසේ කියා ඔහු කීවේ
” ගරු කතානායකතුමනි මේ පෙත්ත ගැහුවහම අනෙකාගේ ලේ දැකීමේ ආශාවක් ඇති වෙනවා ” කියාය.අපි නම් අප නොදන්නා දෙයක්,නැතිනම් වෙනත් කෙනෙකුගෙන් අසා දැන ගත් දෙයක් තවත් කෙනෙකුට කීමේදී වාක්‍යයේ අඟට ලු යන්න භාවිතා කරනවා.ඒ අනුව විමල් ඒ කතාව කිවයුත්තේ ” ගරු කතානායකතුමනි ඒ පෙත්ත ගැහුවහම අනෙකාගේ ලේ දකින්න ඕනි වෙනවාලු ” කියායි.නමුත් විමල් කළ කතාවේදී පෙත්ත ගැන වෙනත් කෙනෙකුගෙන් අසාගත් බවක් නොපෙනුනු අතර ඔහුද ඒ ගැන හොදින් දන්නා බවක් ඉස්මතුවිය.
ඇත්ත වශයෙන්ම මට මෙහිදී ප්‍රශ්නයක් මතුවේ.එනම් විමල් ඔය කියන රිවස් පෙත්ත පාව්චි කරනවාද කියායි?මන්ද එම පෙත්ත ගත් විට නිර්මාණය වන බවට විමල් කියන විකෘති මිනිසා දිනක් මා විමල් තුළින් දුටුවෙමි.එදා ඔහුට ලේ දැකීමට අවශව තිබූ බව අද මට හැගේ.ඒ වෙන කාගේවත් නොව මගේ ලේය.ඒ ඔස්සේ කල්පනා කරන විට විමල් එදා රිවස් පෙත්ත ගසා සිටියේ දැයි සාධාරණ සැකයක් අද මාහට මතුවේ.දිනය 2017/11/21ක දාය.ඒ මා සහභාගී වූ ජානීපෙ අවසන් දේශපාලන මණ්ඩලයයි.සාමාන්‍යයෙන් අප දේශපාලන මණ්ඩලය කැදවන දිනට මූලස්ථානයට විශාල පිරිසක් කැදවන්නේ නැත.මන්ත්‍රී ආරක්ෂකයන් පවා පහත මාලයේ හෝ වෙනත් තැනක රඳවයි.නමුත් එදා මා මූලස්ථානට යනවිට මූලස්ථානය පිරිලාය.විමල්ගේ කොළඹ දිස්ත්‍රික්කයේ මැරයන් හා විශ්‍රාම ගිය හමුදා නිළධාරියෙකු වන රිටිගහපොල නැමැත්තා හා තවත් කණ්ඩායමක් එහි සිටියේය. මූලස්ථානයේ පහළ තවත් කණ්ඩායමක් සිටියේය.මා හට යම් අමුත්තක් දැනුනද මා එය එතරම් තැකුවේ නැත.
සාමාන්‍යයෙන් දේශපාලන මණ්ඩලයේ න්‍යාය පත්‍රය හදන්නේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාය.මා එය වසර 10 ක් සාදා තිබේ. එහෙත් එදා විමල් විසින් එය පවරාගෙන තිබිනි.විමල් න්‍යාය පත්‍රය හදා දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කළේය.එවිට මා කීවේ විමල් හා මා අතර පවතින දේශපාලන අර්බුදයක සම්බන්ධවද සංවාදයක් අවශ්‍ය බවයි.විමල් කීවේ ඉතුරු වුනොත් බලමු කියායි.ඊට අනුව මට ගම්‍ය වූයේ ඒ සාකච්ඡා කිරීමට මා ඉතිරි නොවන බවයි.විමල් සැළසුම් කර තිබූ පරිදි විමල්ගේ ගෝල කණ්ඩායමේ කීපදෙනෙක් මට විවිධ චෝදනා එල්ල කළේය. මා ඒවා සියල්ලට සෘජු පිළිතුරු දුන්නේය.මගේ නිවැරදි බව මා දේශපාලන මණ්ඩලයට ඔප්පු කර පෙන්නුවේය.මට එල්ලවූ චෝදනා හොරකමේ හෝ දූෂණ චෝදනා නොවේ.පියසිරි හා විමල් අතර ඇතිවූ ගැටුමේදී විමල්ගේ පාර්ශවය නොගැනීමේ චෝදනාවය.මා එහිදී එක පැත්තක් වත් ගත්තේ නැත.
එවිට එක් තැනකදී විමල් මට කීවේ ” කට වහගෙන ඉන්නවා හලෝ” කියායි. මමත් ගත් කටටම කීවේ ” අහගෙන ඉන්නවා හලෝ ” කියායි.ඒවිටම විමල් දෙපැත්තේ සිටි ගෝලයන් දෙදෙනෙකු(අදත් දේශපාලන මණ්ඩලය නියෝජනය කරයි)මට ගහන්නට නැගී සිටියේය.” විමල් සහෝදරයාට හලෝ කියන්න එන්න එපා” ඔවුගේ චෝදනාව එයයි.මා කීවේ මට හලෝ කියන ඕනෑම කෙනෙකුට මමත් හලෝ කියනවා.නමුත් මම මෙතෙන්ට ආවේ ගහ ගන්න නෙවෙයි මගේ මතය කියන්න. හැබැයි මට අත උස්සන්න ඕනි කෙනෙකුට මමත් අත්දෙකම උත්සනවා කියාය.එවිට දේශපාලන මණ්ඩලයේ තවත් සහෝදරවරු සිව් දෙනෙක් නැගී සිට මට පහරදීමට නැගී සිටි අයට සිය විරෝධය පළ කළේය. ජයන්ත විජේසේකර,නිමල් චන්දන.වීරකුමාර දිසානායක,නිමල් පේමවංශ එම සහෝදරවරුන්ය.
ජයන්ත විජේසේකර සහෝදරයා ඉල්ලා සිටියේ දේශපාලන මණ්ඩලය වෙනත් දිනකට කල් තබන ලෙසයි.ඔහු කීවේ බරපතල අර්බුදකාරී අවස්ථාවලදී කළ හැකි හොඳම දේ වන්නේ එය බවයි.රෝහණ විජේවීර සහෝදරයාද එම ක්‍රමය අනුගමනය කළ බවයි.නෑ මේ ප්‍රශ්නය අදම විසදා ගත යුතු බව විමල් කීවේය.මමත් විමලුත් අතර උස් සංවාදයක් ඇතිවෙන හැම අවස්ථාවේම විමල් එළියේ තබා තිබූ මැරයන් එම කාමරයේ ප්‍රධාන දෙරටු දෙක ලගට එක්රැස් විය.එම කොළඹ දිස්ත්‍රික්කයේ මැරයන් පිරිස ආවේ ඒ වනවිට කොළඹ දිස්ත්‍රික් ලේකම් ලෙස දේශපාලන මණ්ඩලය නියෝජනය කළ අද ජානීපෙ ප්‍රධාන ලේකම් දම්පහල(එස් විජේසිරි) සහෝදරයා හරහාය.දම්පහල යනු යම් හෝ හෘද සාක්ෂියක් සහිත මිනිසෙකු වුවද ඒ වනවිට විමල් එයද මිලදී ගෙන තිබිණි.රිටිගලපොල යනු විමල්ගේ සෘජු සම්බන්ධවයකි. රිටිගහපොල වැනි විශ්‍රාමික හමුදා නිළධාරියෙකු ගෙන ඒමෙන් මා තේරුම් ගත්තේ විමල්ගේ හමුදාවට ඇති බියයි.එම බය මටත් ඇතිකිරීම ඔහුගේ අරමුණ වන්නට ඇත.
අවසානයේ විමල් දේශපාලන මණ්ඩලයට ටයිප් කළ ලිපියක් ගෙනාවේය.විමල් මට කීවේ එම ලිපියට අත්සන් කරන ලෙසයි.එසේ නොකරන්නේ නම් මා ගැන විමල් තීරණයක් ගන්නා බවයි.එම ලිපිය යනු පියසිරි විජේනායක සහෝදරයා පක්ෂයෙන් නෙරපා හැරීමට විමල් සකස් කළ ලිපියයි.මට ඊට අත්සන් කරන ලෙස විමල් බල කළේය.ඒ වනවිට පියසිරි විජේනායක සහෝදරයා විමල්ට විරුද්ධව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබිණි.පියසිරි හා විමල් අතර ගැටුම සම්බන්ධව එහිදී සංවාදයක් ඇතිවිය.මම කිව්වේ එය පෞද්ගලික ප්‍රශ්නයක් බවයි.(ඒ සම්බන්ධව ඇතිවු සංවාදය වෙනත් ලිපියක් මගින් ලියා තබමි )පියසිරි සහෝදරයා කළ මාධ්‍ය සාකච්ඡාවේදී විමල්ට බරපතල චෝදනා එල්ල කර තිබිණි.මා කිව්වේ පියසිරි කියන ඇතැම් කරුණු විමල් සිරගතව සිටියදී දේශපාලන මණ්ඩලයේ සාකච්ඡා කළ ඒවා බවයි.පියසිරිට එම තොරතුරු දුන්නේ දැන් මේ සිටින දේශපාලන මණ්ඩලයේ සිටින පිරිසක් බවයි. ඔවුන් ඒවා මටද පැවසූ බවයි.ඒ බොහෝ කරුණු සත්‍ය බවයි.(පසුව පැවති දේශපාලන මණ්ඩලයකදී පියසිරි නැගූ ඒක් වෝදනාවක් වූ විමල්ගේ බිරිඳ පොලියට මුදල් දෙන බව විමල් පිළිගෙන තිබිණි)
පියසිරිට පැවසු දේ ඔවුන් මටද පවසා තිබිණි.ඒවා කාටවත් නොකියන ලෙස මගෙන් ඔවුන් ඉල්ලුවේය.මා කාටවත් ඔය කුණු කේලම් කියන්න ගියේ නැත.මා දේශපාලන මණ්ඩලයට කීවේ මට ඒ තොරතුරු දුන් අයම පියසිරිටද ඒ තොරතුරු දුන් බවයි.එසේ පවසා මා දේශපාලන මණ්ඩලයට අභියෝගයක් කළේය.ඒ තොරතුරු දුන් අය මෙතන ඉන්නවා කොන්දක් තියනවා නම් දැන් ඉදිරිපත් වෙන්න කියායි.එසේ කියු අය ඉදිරිපත් නොවන්නේ නම් මම පියසිරි විජේනායක සහෝදරයා පමණක් නෙරපා හරින ලිපියට අත්සන් නොකරන බවයි.ලිපිය වෙනස් කර පියසිරිට හා ඔහුට එම තොරතුරු ලබාදුන් සියලු දෙනාට විනය පරීක්ෂණයක් කිරීමේ ලිපියකට අත්සන් කිරීමට මා සූදානම් බවයි.නමුත් විමල් මට සිය උපරිම බලය දමා බලපෑම් කළ අතර මා එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළේ.මා එදා විමල් තුළින් දැක්කේ ලේ ඉල්ලන විමල් කෙනෙකි. ඔහුට ලේ බැලීමට ආසාවක් ඇතිවී තිබූ බව දැන් මට සිතේ.ඊට එදා ඔහුගේ විකෘති හැසිරීම හොදින්ම සාක්ෂි දැරුවේය.අද මා උපකල්පනය කරන්නේ විමල් එදා ඔය පවසන රිවස් පෙත්ත ගසා සිටි බවයි.මන්ද ඊට කලින් වසර දහයක් මම දුටු විමල් එදා එතන නොසිටියේය.එසේම ජවිපෙන්ද විමල්ට ඒ ආකාරයේ චෝදනාවක් එල්ලවී තිබිණි.
පසුව මෙවන් විකෘති මිනිස්සු සමග දේශපාලන නොකරන බව පවසා මගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නෙමි.දේශපාලන මණ්ඩලය එය බාර ගත්තේ නැත.එක් සහෝදරයෙක් එය ඉරා විසි කළේය.නමුත් මා පැවසුවේ දේශපාලන මණ්ඩලය මෙය බාර නොගන්නේ නම් මා හෙට ඒ බව මැතිවරණ කොමිසමට ලියා දන්වන බවයි.මාගේ වැඩිම දහඩිය මහන්සි හෙළූ පක්ෂය දමා ඒමට මා තීරණය කළේ එලෙසිනි.ඒ හා බැදුනු සත්‍ය කතාව එයයි.එය ඔප්පු කිරීමට අවශ්‍ය තරම් සාක්ෂි මා යතුය.එදා දේශපාලන මණ්ඩලයේ බහුතර කළේ ලේ දැකීම වෙනුවෙන් විමල් කළ කුමන්ත්‍රණයට උදව් කිරීමයි.මෙහදී කණගාටුවෙන් වුවද මතක් කළ යුතු කරුණු කීපයක් ඇත.එනම් මේ කුමන්ත්‍රණය පිටුපස විමල් සමග සිටි දේශපාලන මණ්ඩලය සභිකයා එදින දේශපාලන මණ්ඩලයට සහභාගී වූයේ නැත.
එසේම විමල් හා මා අතර උණුසුම් සංවාදයක් ඇතිවන විට වෛද්‍ය වසන්ත බණ්ඩාර සහෝදරයා සිටියේ දේශපාලන මණ්ඩලය තුළ ඉංග්‍රීසි පුවත්පතක් බලමිනි.ඔහු සම්බන්ධව මාගේ යම් ගෞරවයක් එදා පැවතිනි.අදද ජානීපෙ දේශපාලන මණ්ඩලයේ සිටින අයෙගන් පුංචි හෝ ගෞරවයයක් ඇත්තේද ඔහු ගැන පමණි. නමුත් වෛද්‍ය වසන්ත බණ්ඩාර සහෝදරයා එදා පත්තරය බල බලාහිටියේ මා විමල්ට යටත් වන තුරු බව මා දනිමි.එය සිදු නොවී සියල්ල සිදුවු පසු පසුදා උදෑසන ඔහු මට කතා කළේය.කතාකර ඔහු කිවේ ඔයා වීරයෙක් වගේ අස්වුණා.ඔයා හිතුවේ ඔයා ගැන විතරයි.දැන් පක්ෂයට මොකද්ද වෙන්නේ කියායි.මම කීවේ කිසිවෙකු සාධාරණය වෙනුවෙන් පෙනී නොසිටින මොහොතක මම මගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටිමින් ඉල්ලා අස්වූ බවයි.අදද ජානීපෙ දේශපාලන මණ්ඩලයේ කිසිවෙකු මෙම සිදුවීම ප්‍රතික්ෂේප කරන්නේ නම් මා ඉල්ලා අස්වූ දිනට පසු දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනෙකු සිදුවූ සිද්ධි සම්බන්ධව කනගාටුව පළකරමින් හා සමාව ඉල්ලමින් මා වෙත එවු දීර්ඝ කෙටි පණිවිඩ සියල්ල තවමත් මා සතුය.මා පවසන්නේ විමල් එදා රිවස් පෙත්තක් හෝ කීපයක් ගසා සිටි බවට සැක සිතීමට තර්කානුකූල පදනමක් මට ඇති බවයි.(සංවාදයකට මෙන්ම අභියෝගයකටද විවෘත ලිපියකි)
ප්‍රියන්ජිත් විතාරණ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here