ලෝක මානසික සෞඛ්‍ය දිනය සහ මානසික සෞඛ්‍යය කෙරෙහි ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය

ලෝක මානසික සෞඛ්‍ය දිනය ගෙවී යමින් තිබේ. මෙවර එහි තේමාව ‘වැඩි ආයෝජනයක් – වැඩි ප්‍රවේශයක් තුලින් සැමට මානසික සෞඛ්‍යය’ යන්නයි. එය 2002 දී මානසික සෞඛ්‍ය දිනය සැමරීම ආරම්භ කිරීමෙන් පසු වැඩිම ප්‍රජා සහභාගීත්වයක් ලැබූ ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස සැලකිය හැකිය.

මෙවර මානසික සෞඛ්‍ය දින තේමාවෙන් අපේක්ෂා කරන්නේ මානසික සෞඛ්‍යය කෙරෙහි ආයෝජන වැඩි කිරීමයි. COVID-19 වසංගතය හේතුවෙන් ලොව පුරා මානසික සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු, විශේෂයෙන්ම වසංගතය හේතුවෙන් ඇති වූ ජීවිත අහිමි වීම්, රැකියා අහිමි වීම්, රැකියා තත්ත්වය වෙනස් වීම් හෝ මූල්‍යමය බිඳ වැටීම් හේතුවෙන් ඇති වූ මානසික පීඩනය, නිවසේ සිට වැඩ කිරීමට සිදු වීම හෝ සංචරණ සීමා වැනි කරුණු හේතුවෙන් ගෘහස්ථ සහ පවුල් ජීවිත වල සිදු වූ වෙනස් කම් නිසා වැඩි වී ඇති ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, අපයෝජන සහ අතවර, රෝගයේ අවිනිශ්චිත ස්වභාවය හේතුවෙන් ඇති වන මානසික පීඩනය වැනි බොහෝ කරුණු හේතුවෙන් 2019 වසර අවසන් වන විට මනෝ සමාජීය ආබාධ වලින් පෙළෙමින් සිටි පිරිසට වඩා තවත් විශාල පිරිසකට මානසික සෞඛ්‍ය සේවා වෙත යොමු වීමට සිදු වී තිබේ. එහෙත් ලොව බොහෝ රටවල එලෙස වැඩි වන අවශ්‍යතාවයට සරිලන පරිදි මානසික සෞඛ්‍ය සේවා සැපයීම අපහසු වී ඇත. එබැවින් මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ දී, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය, මානසික රෝග වැලැක්වීම, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ පශ්චාත් ප්‍රතිකාර සේවාවන් කෙරෙහි වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට රජයයන්ට, පෞද්ගලික හා ව්‍යාපාරික අංශ වලට, ප්‍රජා සංවිධාන වලට සහ ජනතාවට ආරාධනා කරයි.

මෙරට මානසික සෞඛ්‍ය සේවාවේ විශාල කොටසක් සපුරනු ලබන්නේ රජයේ වියදම් වලිනි. ලෝකයේ අනිකුත් බොහෝ රට වල මෙන්ම ශ්‍රී ලංකාවේ ද මානසික සෞඛ්‍ය වියදමින් 80% කට වඩා මානසික සෞඛ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් වැය කරයි. එම මුදල් වැය වන්නේ රෝහල් නඩත්තු කිරීම, කාර්ය මණ්ඩල පුහුණු කිරීම හෝ නඩත්තු කිරීම, රෝගීන්ගේ ඖෂධ සහ ආහාර ඇතුළු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙනි. එහෙත් එය ප්‍රමාණවත් නොවේ. මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, සමාජ අපවාදය අවම කිරීම, මූලික අවස්ථාවේ ප්‍රාථමික මානසික සෞඛ්‍ය සහය ලබා ගත හැකි අවස්ථා ප්‍රජාව තුල ඇති කිරීම, පශ්චාත් ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු විධිමත් කිරීම වැනි බොහෝ දේ යම් පමණකට මඟහැරෙමින් පවතී.

ශ්‍රී ලංකාව තුල මානසික රෝග කෙරෙහි ඇති අපවාදය අවම කිරීම, මානසික රෝග සහිත ප්‍රජාවට දෙපයින් නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දීම, මානසික ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙන්ම ප්‍රජාවේ යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට අවශ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම, පවුල සහ අනෙකුත් යහපත් අන්‍යොන්‍ය සම්බන්ධතා ගුණාත්මක ලෙස වර්ධනය කිරීම ආදිය තවදුරටත් සිදු කල යුතු කාර්යයන් අතර තිබේ. එය බොහෝ දුර ඉලක්කයකි. එහෙත් සියලු ශ්‍රී ලාංකිකයන් එක් වන්නේ නම් එය එතරම් අපහසු කාර්යයක් නොවේ.

අන් කවරදාටත් වඩා වැඩියෙන් මානසික සෞඛ්‍යය කෙරෙහි ආයෝජනය කිරීම අවශ්‍ය වන්නේ එබැවිනි. එම ආයෝජනය ඇතැම් විට මූල්‍යමය නොවිය හැකිය. නැතහොත් ඉතා සුළු වියදමකින් විශාල වෙනසක් කල හැකිය. උදාහරණයක් ලෙස රැකියා ස්ථානයේදී වෙනස් කොට සැලකීමකින් තොරව මානසික සෞඛ්‍ය උපදේශනය ලබා ගැනිමට සේවකයින්ට අවස්ථාව සැළසීම සාපේක්ෂව ඉතා අඩු වියදමකින් සිදු කල හැකිය. තමන්ගේ සහ තම මානසික සෞඛ්‍යය ගැන අවධානයෙන් සිටීමට සහ විනිශ්චය කිරීමකින් තොරව තම සමීපතමයන්ට සවන් දීමට ඔබට කිසිඳු මුදලක් වැය නොවනු ඇත. එහෙත්, එසේ නොකිරීමෙන් ඔබට සමීපතමයකු හෝ ආයතනයට වටිනා සේවකයකු අහිමි වීමට ඉඩ තිබේ.

ප්‍රදීප් ගුණරත්න

වෘත්තීය චිකිත්සක

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here