විගණකාධිපති වාර්තාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාව හෙළිදරව් වේ

විගණකාධිපතිවරයා විසින් 2020 ඔක්තෝම්බර් 29 දිනැතිව AGS/AR/2019/21 අංකයෙන් යුතු ලිපියක් මගින් කතානායකවරයා වෙත 2019 මුදල් වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කර ඇත.

මෙම විගණන වාර්තාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් බරපතල කරුණු ගණනාවක් මතුකර ඇත.

අධ්‍යාපනයේ අරමුණු ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව රුපියල් මිලියන 325,397.60 ක ප‍්‍රතිපාදන සලසා තිබුණ ද ඉන් උපයෝජනය කර ඇත්තේ රුපියල් මිලියන 235,097.00 ක මුදලකි.

ඒ අනුව මුළු ප‍්‍රතිපාදනයෙන් 27.75% ක් හෙවත් රුපියල් මිලියන 90,303.60 මුදලක් උපයෝජනය කර නැත.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව 2003 සහ 2016 වසරවල අධ්‍යාපනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබුණත් 2019 වසර අවසාන වන විටත් නිශ්චිත තිරසාර ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සකස් කර නැති බව සඳහන් කර ඇත.

මේ තත්වය තුළ ජාතික අධ්‍යාපන කොමිසම සුදු අලියෙකු සේ නඩත්තුවීම ප‍්‍රශ්නකාරී බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

එසේම 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සසස පරිච්ජේදයේ අධ්‍යාපනයට අදාළ 2 ව්‍යවස්ථාවට අනුව පෙර පාසල් අධීක්ෂණය හා කළමනාකරණය කිරීම, ජාතික ප‍්‍රතිපත්තියක් සම්පාදනය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම බව විගණන වාර්තාව පෙන්වා දී ඇතත්, එම වගකීම ඉටු වී නැත.

1961 අංක 8 දරණ උපකෘත පාඨශාලා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වගන්තියට අනුව වයස 5-14 සීමාවල පසුවන දරුවන් වෙනුවෙන් පෞද්ගලික පාසල් ආරම්භ කළ නොහැකිව පැවතිය දී එවැනි කටයුතු සිදුවීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙලක් සකස් කර නොතිබීම පිළිබඳව විගණන වාර්තාව අවධානය යොමු කර ඇත.

අරමුණු 7 ක් මුල්කරගෙන 2016 වර්ෂයේ සිට සිසුන්ගේ කායික මානසික සමබරතාවය හා නිරෝගී පරපුරක් බිහිකිරීම වෙනුවෙන් කී‍්‍රඩා දක්ෂතා ඇති සිසුන් දක්ෂ කී‍්‍රඩකයින් බවට පත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 18,394.5 ඇස්තමේන්තු කර තිබුණ ද රුපියල් මිලියන 237.74 ක් පමණක් වැය කොට ඇති අතර, අදාළ වැඩසටහන් නිසි පරිදි කි‍්‍රයාත්මක කොට නැත.

එසේම 1989 වසරේ දී ආරම්භ කරන ලද කී‍්‍රඩා පාසල් 22 ක් කි‍්‍රයාත්මක තත්වයේ නොපැවතීම තුළ කී‍්‍රඩා උපකරණ, නේවාසිකාගාර, කායවර්ධන උපකරණ, භාවිතා කොට නොමැති බවද හෙළි කොට ඇත.

ශී‍්‍ර ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවතියත් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයෙන් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු නොවුණද, මේ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 42 ක් වැය කර ඇති බව විගණනයෙන් පෙන්වා දෙයි.

අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව ඉංගී‍්‍රසි හැර අපොස උසස්පෙළ විෂයධාරාවන්ගේ ප‍්‍රධාන විෂයයන් සඳහා පොත් මුද්‍රණය කර නොතිබුණ ද, 2016 වසරේ සිට 2019 වසර දක්වා විෂයන්ට අදාළ අතිරේක පොත් 393,500 ක් මුද්‍රණය කොට පාසල් වෙත බෙදා නොහැර අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් අලෙවිසැල්වල විකිණීම තුළ උසස් පෙළ සමස්ත සිසුන්ට එම පොත් පරිහරණයට අවස්ථා අහිමි කර ඇති බව විගණන වාර්තාව පෙන්වා දී ඇත.

ප‍්‍රධාන ජාතික පාසල් සඳහා චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින් ළමුන් ඇතුළත් කර ඇති ආකාරය මෙම විගණනයේ පැහැදිලි කොට ඇත.

2017 වසරේ දී ජාතික පාසල් 109 කට සිසුන් 6337 ක් ද, 2018 වසරේ දී පාසල් 73 කට සිසුන් 3339 ක් ද, 2019 වසරේ දී පාසල් 81 සඳහා සිසුන් 6366 ක් ද ඇතුළත් කර ඇති බව කරුණු සහිතව දක්වා ඇත.

ගුරු අත්පොත් නිසි කලට බෙදා නොහැරීම, විනය කි‍්‍රයාවලිය මන්දගාමීව සිදුවීම, මානව සම්පත් කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම මෙන්ම ගුරුවරුන්ගේ හිඟ වැටුප නිසි පරිදි ගෙවා නොතිබීම සහ විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව ද මෙම විගණන වාර්තාව වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here