ආණ්ඩුවේ මුළු ආදායම, ණය සහ පොලී වාරික ගෙවීමටවත් ප්‍රමාණවත් නෑ – අනුර

2020 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර තිබෙන ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 1555 ක් බවත් ණය සහ පොලී වාරිකය සඳහා පමණක් බිලියන 1854ක් වැය වන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (22) පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ,
“වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ පැරණි, පැවති ක්‍රියාමාර්ග ඉතා හොඳින් නැවත ක්‍රියාවට නගමින් තිබෙන බව පැහැදිලියි. වංචාව, දූෂණය, නැවත වටයකින් ඉදිරියට ගෙනෙමින් තිබෙනවා. රට බරපතළ ආර්ථික අර්බුදයක තිබියෙදී මේ තත්වයට යළි පණදීම විශේෂත්වයක්. රජයේ ආදායම අහිමි වෙමින් තිබෙනවා. 2020 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර තිබෙන ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 1555යි. නමුත් ණය සහ පොලී වාරිකය පමණක් බිලියන 1854ක් වැය වෙනවා. ඒ කියන්නේ රජයේ මුළු ආදායම ණය වාරික සහ පොලී වාරිකය ගෙවන්න ප්‍රමාණවත් නැහැ. 2021 වසරේ තිබෙන්නේ ඊටත් වඩා භයානක තත්වයක්. ඇස්තමේන්තු කළ මුළු ආදායම බිලියන 1919යි. ණය වාරික සහ පොලිය ගෙවීමට බිලියන 2117ක් වියදම් වෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ මුළු ආදායම ණය සහ පොලී වාරික ගෙවීමට ප්‍රමාණවත් නැති බවයි. භාණ්ඩාගාරයේ ගිණුම මේ වනවිටත් බිලියන 541ක බැංකු අයිරාවක් තියෙන්නේ. මෙහි බර විවිධාකාරයෙන් ජනතාවට පැටවෙමින් තිබෙනවා. භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, රටේ සම්පත් විකිණීම වැනි විවිධ ක්‍ෂේත්‍රවලින් බලපා තිබෙනවා.” යනුවෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here