මේක කළු සල්ලි සුදු කරන අයවැයක්

මෙවර අයවැය යෝජනාවල අවසාන භාගයේදී කළු සල්ලි සුදු කරන්න ක්‍රමයක් ආණ්ඩුව යෝජනා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කලේ ,නීත්‍යානුකූල ක්‍රමවලට ආදායම් හොයන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බවත් නීතිවිරෝධී ලෙස හම්බ කරන අයගේ සල්ලි ආයෝජනය කරන්න මාර්ග අයවැයෙන් කියා දෙන බවත්ය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා,

” ඉදිරි වර්ෂයේදී රුපියල් බිලියන 3,500ක පමණ වියදමක් ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ වියදම් උපයා ගන්න ආකාරය ප්‍රායෝගිකව දක්වලා නැහැ. ජනතාවගේ ජීවත්වීමේ අර්බුදයට උත්තර ජනතාවටම සොයා ගැනීමටත් ආණ්ඩුව ගැලවීමටත් යෝජනා ඉදිරිපත් කළ අයවැයක්. ඒ වගේම ණය අර්බුදය ඉස්සරහ ආණ්ඩුවේ අසරණකම පෙන්වන අයවැයක්. ණය අර්බුදය ගැන කිව්වට ඊට දෙන විසඳුම ඉදිරිපත් කර නැහැ. පවතින අර්බුදයේ ඇත්ත ස්වභාවය එක්කෝ ආණ්ඩුව දැකලා නැහැ. නැත්නම් එය ජනතාවට හංගලා. උදාහරණයක් හැටියට 2021දී බිලියන 1961ක ආදායමක් බලාපොරොත්තු වෙනවා. නමුත් 2020 පළවැනි මාස අටටම ලැබිලා තියෙන ආදායම බිලියන 906යි. ඉතුරු මාස හතරට උපරිම වශයෙන් තව බිලියන 200ක් විතර උපයා ගන්න හැකිවෙයි. අලුතින් ආදායම් මාර්ග යෝජනා කර නැත්නම් ලබන අවුරුද්දේ බිලියන 1961ක් හොයන්නේ කොහොමද? මේ ආදායම් එකතු කිරීමට නැවත යෝජනා කරන්නේ ජනතාව මත බදු බර පැටවීමයි.

දැනටත් බදු බරෙන් විශාල පීඩාවකට පත්වෙලා ඉන්න ජනතාව ඔන්ලයින් ක්‍රමයේ විශේෂ භාණ්ඩ බද්දක් අලුතින් යෝජනා කරලා. බදු ආදායම්වලින් පමණක් අලුතින් රුපියල් කෝටි 4,390ක් ලබාගන්න ආණ්ඩුව උත්සාහ කරනවා. මුළු බදු ආදායම බිලියන 2,019ක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ පවතින යථාර්ථය ඇතුළේ තව අවුරුද්දක් දෙකක් කොවිඩ් වසංගතය පැවතීමේ අවදානමට සුදුසු ආදායම් යෝජනා කර නැහැ. ඒ වගේම ආනයන සීමාකිරීම තුළින් බදු ආදායම් බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් ඒ මත අලුතින් බදු බලාපොරොත්තු වීම වගේ ප්‍රායෝගික නැති ක්‍රියාමාර්ග ආණ්ඩුව යෝජනා කරනවා.” යනුවෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here