සරසවි ප්‍රවේශ සිසු ගැටලුවට අධ්‍යපන අමාත්‍යංශ ලේකම්ගෙන් සුභවාදී ප්‍රතිචාර

2019 වසරේ උසස් පෙළ සිසුන්ගේ සරසවි ප්‍රවේශය සම්බන්ධයෙන් මුහුණ පෑමට සිදුව ඇති ගැටලු පිළිබඳව අද (09) අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාව සුභවාදී බලාපොරොත්තු ඇති කළ එකක් බව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය මහතා පවසයි.

පසුගිය දින කිහිපය පුරා මේ සම්බන්ධයෙන් මතුකළ විරෝධතා සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද දිනයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් විමසා ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවේදී එකඟතා කිහිපයක් ඇතිකර ගෙන තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දැනට බඳවා ගැනීම් සිදු කර ඇති ආකාරය පිළිබඳ තොරතුරු වහාම ප්‍රකාශයට පත් කළ යුතු බවත් දැනට තේරී පත් වී ඇති සිසුන්ට ගැටලුවක් ඇති නොවන සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කරන තොරතුරු අනුව ඊට ගැලපෙන ක්‍රමවේදයක් සකස් කොට අසාධාරණයට පත් සිසුන්ට සාධාරණය ඉටු විය යුතු බවත් උසස් පෙළ අවසන්වී දැනටමත් බොහෝ කාලයක් ගතවී නිසා කඩිනමින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය පාර්ශව සමග ක්‍රියාකළ යුතු බවත් සාකච්ඡා වී තිබේ.

එම අවස්ථාවට සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු කසුන් තාරක, පාසැල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් නාගස්තැන්නේ අරුණ හිමි, මහජන එක්සත් පෙරමුණේ පර්යේෂණ සහ ශිෂ්‍ය අංශය නියෝජන කරමින් උපකාර පංති දේශක තිස්ස ජනනායක ඇතුළු පිරිසක් සහභාගී වි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here