PCR පරීක්ෂණ ගැන එජාපයෙන් චෝදනාවක්

දින 10 කට පසු රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් කොරෝනා ආසාදිතයන් PCR පරීක්ෂණයකින් ද තොරව සමාජයට මුදා හැරීමේ රජයේ තීරණය බරපතල ව්‍යසනයක පෙර නිමිත්තක් විය හැකි බව ඒක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.එවන් තීරණයක් ගැනීමට යොදා ගත් පිළිගත් විද්‍යාත්මක පරීක්ෂණ වාර්තාව රට හමුවේ තැබීම රජයේ වගකීමක් බවත් රට නැවත විවෘත කිරීමට පෙර සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද සහතිකය ජනතාවට ලබා දීම රජයේ වගකීම විය යුතු බවත් ඒම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මීට දින කිහිපයකට පෙර මෙරට ව්‍යාප්ත වන Covid – 19 වෛරස ප්‍රභේදය පිළිබද අධ්‍යයනය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මෙම වෛරසයේ වෛරස ඝණත්වයෙහි ඉහළ යාමක් ඇති බවත් එබැවින් අසදිතයෙකුගේ එක කිවිසුමකින් පවා වැඩි වෛරස ප්‍රමාණයක් පරිසරයට මුදා හැරීම සිදුවන බවත් සනාථ කර තිබේ. වෛරසය සුව වූ බව පැවසුන ද දින 21 – 28කට පසුවත් නැවත රෝග ලක්ෂණ මතුවූ රෝගීන් පිළිබද මෙරට තුළින්ම වාර්තා විය. ඒබැවින් දින 10 කට පසු රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් වෛරසය ශරීරගත ව ඇති රෝගීන් තව දුරටත් රෝග වාහකයින් නොවන බව තහවුරු කරන්නේ කෙසේද යන්න මෙම නිවේදනය මඟින් ඒක්සත් ජාතික පක්ෂය රජයෙන් ප්‍රශ්ණ කර සිටියි.

”රජයේ දුර්වල ක්රියාකලාපය හමුවේ PCR පරීක්ෂණ සිදු කර ගැනීමට නොහැකියාව හෝ රෝහල්වල ඉඩකඩ නියමිත පරිදි කළමනාකරණය කර ගැනීමට හෝ නොහැකි වීමේ වරද නිසා සමස්ත ජනතාවගේ ජීවිත බිල්ලට දීම කණගාටුදායක ය . කළ යුත්තේ ජනතාව රැවටීමෙන් වැළකී සත්‍ය තත්වය රටට හෙළි කොට උචිත නව ක්රමවේද සකස් කිරීමට රජය වහා පියවර ගැනීමයි.එබැවින් මේ තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු පරස්පරතාවයකින් තොරව වහා රට හමුවට ඉදිරිපත් කිරීම රජයේ අදාළ වගකිව යුත්තන්ගේ ප්‍රමුඛ කාර්යයභාරය බව අපි අවධාරණය කරන්නෙමු.” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරයත් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here