සිංහරාජය සහ ලංකාගම මාර්ගය: පාරිසරික වාර්තා ලබා දෙන ලෙස යුන්සේකෝ සංවිධානය දන්වයි

යුනෙස්කෝ සංවිධානය සිංහරාජය සම්බන්ධයෙන් විමසීමක් කර ඇති බව ශ්‍රී ලංකා බලධාරීහු තහවුරු කරති.

“ලෝක උරුම දේපලක්” වන සිංහරාජ රක්ෂිතය හරහා ඉදිවෙන “කොන්ක්‍රීට් මාර්ගයේ” ඉදිකිරීම්වලට අදාළව යුනෙස්කෝ සංවිධානය ඉල්ලා ඇති තොරතුරු ලබා නොදුනහොත් එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින බවට පරිසර සංවිධාන ඒ අතරේ අනතුරු අඟවති.

මේ සම්බන්ධයෙන් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය වෙත තෙවෙනි පාර්ශවීය තොරතුරු ලැබී ඇති බව යුනෙස්කෝ සංවිධානය පසුගිය ඔක්තෝම්බර් 09 වෙනිදා නිකුත් කළ විවෘත ලිපියක දැක්විණි.

“මාර්ගයේ සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබ ඇතැයි වාර්තා වී තිබුණ ද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි එම කටයුතු නැවත ආරම්භ කර ඇතැයි පෙනෙන්නට තිබෙන” බව එහි වැඩිදුරටත් සඳහන් විය.

ලෝක උරුම සම්මුතිය ක්‍රියාවට නැංවීම සඳහා වන මෙහයුම්වලට අදාළ මාර්ගෝපදේශ (Operational Guidelines) අනුව, ඉහත කී කරුණ සම්බන්ධයෙන් තමා වෙත ලැබී ඇති තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කර ගනුවස් ඒවා ශ්‍රී ලංකාවේ සිටින සිය ස්ථීර නියෝජිත කණ්ඩායම වෙත යවා ඇති බවත් ලෝක උරුම මධ්‍යස්ථානය ඒ පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ලිපියේ දැක්විණි.

පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය විසින් ඒ සම්බන්ධයෙන් විමසීමක් කරනු ලැබ ඇති බව එහි ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව තහවුරු කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පරිසර අමාත්‍යංශයෙන් අදාළ තොරතුරු ලබා ගෙන ඇති බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත පැවසීය. කෙසේ නමුත් එම තොරතුරු පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත යවා ඇත්දැයි යන්න සඳුදා (නොවැම්බර් 02) තහවුරු කළ හැකි බව ඔහු කියා සිටි බවද සඳහන්.
BBC ඇසුරින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here