මාස 10කට පසු ශ්‍රී ලංකාව නැවත අන්තර්ජාතික ක්‍රිකට් පිටියට

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයට සහභාගී වෙමින් ශ්‍රී ලංකාව නැවත අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසීමට සුදානම් වෙමින් සිටියි.

ඒ කොවිඩ් 19 බලපෑම හේතුවෙන් මාස 10ක කාලයකට පසුවයි.

ටෙස්ට් තරග දෙකකින් යුත් මේ සංචාරයේ පළමු තරඟය ලබන දෙසැම්බර් මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා Boxing Day Test තරඟය පෝර්ට් එලිසබෙත් ක්‍රීඩාංගනයේ සහ දෙවැනි ටෙස්ට් කරඟය ජනවාරි 3 වැනිදා සිට 07 වැනිදා දක්වා කේප් ටවුන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්න විසිනි.

“දැන් සංචාරය ස්ථීරයි. ගුවන් ගමන් සීමා නිසා ක්‍රීඩකයන්ට ගමන් පහසුව ඇති කිරීම කළ යුතුයි. සමහර විට දෝහා කටාර් හෝ ඩුබායි හරහායි අපේ ක්‍රීඩකයන්ට දකුණු අප්‍රිකාව බලා යන්න වෙන්නේ. දකුණු අප්‍රිකාවේ කොරෝනා නිරෝධායන නීති දැඩි නොවන බැවින් ක්‍රීඩකයන් දින 14කට කලින් දකුණු අප්‍රිකාවට යෑමේ අවශ්‍යතාවක් ඇති වෙන්නේ නැහැ.” යි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා පවසා තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට පසුගිය වසරේදී දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියකට එක් වූ අතර එහිදී ශ්‍රී ලංකාව තරගාවලිය ජයගත්තේ 2-0ක් ලෙසිනි. ආසියානු කලාපයේ කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී එවැනි ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව ලෙස එය සඳහන් කෙරෙයි.

එළැබෙන දකුණු අප්‍රිකා සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාව එංගලන්ත සංචාරයක් සඳහා එක් වන බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here