VIDEO: මයික් පොම්පියෝගේ මෙරටට පැමිණීම ජවිපෙ ප්‍රශ්ණ කරයි

ලෝකයේ වැඩිපුරම කොරෝනා ආසාදිතයින් සිටින රටෙහි රාජ්‍ය ලේකම් ලොව දෙවැනියට කොරෝනා ආසාදිතයින් සිටින රටට පැමිණ, ශ්‍රී ලංකාවට පැමිණීමද ගැටලු සහගත තත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.

එම පක්ෂයේ මූලස්ථානයේ අද (25) පැවති මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රශ්න කළේ කොරෝනා වසංගතය හමුවේ හඳුන්වා දී තිබෙන නීති රෙගුලාසි කිසිවක් මේ රටේ බලවතුන් සහ ධනවතුන්ට මෙන්ම ලෝකයේ බලවතුන්ට සහ ධනවතුන්ටත් ක්‍රියාත්මක නොවී දුප්පත් අසරණ ජනතාවට පමණක් ක්‍රියාත්මක වන බවයි. ඇමෙරිකානු ජනාධිපතිවණයට දින 5ක් තිබියදී හදිසියේම මයික් පොම්පියෝ මෙරටට පැමිණෙන්නේ ලංකාව දණ ගැස්වීමට බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

” ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ දකුණු ආසියානු කලාපය භාරව ඉන්න නියෝජ්‍ය රාජ්‍ය ලේකම් යන දෙදෙනාම ඔක්තෝබර් මාසයේ 23වැනිදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක සටහන් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තියෙන්නේ “ලංකාව තමන් කවුරු එක්කද යන්නේ කියන දුෂ්කර තීන්දුව ගන්න ඕනෑ කියලා. ‘අත්‍යවශ්‍ය තීන්දුවක්’ බව ඔහු අවධාරණය කරනවා. එන්න කලින්ම තර්ජනය කරලා එන්නේ. මේ ආණ්ඩුවට දේශප්‍රේමී සළුපිළි අන්දපු විශාල පිරිසක් ඉන්නවා. ඉන්දියානු අගමැතිවරයා ලංකාවට එනකොට කළුකොඩි දාන්න කියපු කට්ටියත් ආණ්ඩුවේ ඉන්නවා. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නරි කෙඳිරිල්ලක්වත් නැත්තේ ඇයි? ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දේශප්‍රේමිත්වයක් ආරෝපණය කරපු අයගෙන් අපි අහන්නේ රටට තර්ජනය කරලා එන මේ පිරිස ගැන, තර්ජනාත්මක ප්‍රකාශ ගැන, ආණ්ඩුවේ ඉන්න ඇමරිකානු පුරවැසියන් විරෝධය පළකරන්න ඕනෑ. අපේ මාතෘභූමියේ පුරවැසිභාවය අත්හැරි මේ දූෂිත පුද්ගලයන් කවදාවත් අපේ රටේ ස්වෛරීත්වය, ආරක්‍ෂාව වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැති බව අපි දිගටම කිව්වා. ආණ්ඩුව සහය දුන්න ජනතාවත්, ආණ්ඩුවට සුදුහුණු ගාන තමන්ගේ මාධ්‍ය ස්වාධීනත්වය නැතිකරගත් ආයතනයත් මේ ගැන මොකද කියන්නේ.” යනුවෙන් ද බිමල් රත්නායක මහතා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්ණ කලේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා ”ග්ලෝබ් මාස්ටර්-3 කියන ගුවන් යානය මීට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණියා. ඇමරිකන් සෙබළුන් 134ක් පමණ සහ වාහන ගෙනියන්න පුළුවන් මේ යානයෙන් පැමිණි පුද්ගලයන් කවුද? මොවුන් සුපර් හියුමන්ලාද? නැත්නම් ලංකා ආණ්ඩුව ධනවතුන් සහ බලවතුන් ඉදිරියේ කොරෝනා නීති ක්‍රියාත්මක කරන්නේ නැති බවට තවත් උදාහරණයක්ද? ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්නේ මල් පැළ බෙදන්න නෙවෙයි. තර්ජනය කරන්න. ලංකාව දණගස්වලා එන්නේ. එසේ එන අයගේ ආරක්‍ෂක බල ඇණිය ඇවිල්ලා නතර වෙලා ඉන්නේ කොහෙද? ඔවුන් යන්නේ එන්නේ කොහෙද? මොවුන් නතර වෙන හෝටල්වල සේවක සේවිකාවන්ගේ ආරක්‍ෂාවට වග කියන්නේ කවුද?” යනුවෙන් පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here