විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් තවදුරටත් ප්‍රතිපාදන

මේ වන විට දිවයින පුරා පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයන්හි සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට තවදුරටත් ප්‍රතිපාදන වෙන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිලි පෙරේරා මහතා පවසයි.

දිවයින පුරා උසස් පෙළ විභාග පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2648ක් වන අතර එලෙස විභාගය මධ්‍යස්ථාන ලෙස යොදාගෙන තිබෙන පාසල්වල සංවර්ධන සමිති සඳහා රුපියල් 15,000ක් බැගින් එම ප්‍රතිපාදන ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

එම ප්‍රතිපාදන අද (19) අදාළ ගිණුම් වෙත බැර කරන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ මෙහෙයවීමෙන් එම කාර්යය ක්‍රියාත්මක කෙරේ.

එම ප්‍රතිපාදන ලබාදෙනුයේ, අධ්‍යාපන අමාත්‍යාංයේ සෞඛ්‍ය ඒකකය විසින් වන අතර මේ වන විටත් අදාළ විභාග මධස්ථානයන්හි සේවයේ නියුතු විභාග ශාලා පාරීක්ෂකවරුන් ඇතුළු කාර්යය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ලබා දී ඇති මුඛ ආවරණ, ආරක්ෂිත පැළඳුම් සහ විෂබීජ නාශක සේදුම් කාරක සැපයීම් වැනි සෞඛ්‍යාරක්ෂිත පහසුකම්වලට අමතර වශයෙන් එම ප්‍රතිපාදන ලබා දෙයි.

එමෙන්ම, දිවයින පුරා විභාග මධ්‍යස්ථානවල අ.පො.ස උසස් පෙළ විභාග මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව පැවැත්වෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහතික කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

මේ අතර සියලුම අපේක්ෂකයින් මෙන්ම සේවයේ නියුතු කාර්යය මණ්ඩලයන්හි සෞඛ්‍යාරක්ෂාව සැලසීමට උපරිම වශයන් කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිලි පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here