ගල් අඟුරු මිලදී ගැනීමේදී රුපියල් බිලියන 1.1ක පාඩුවක්

ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගම ගල් අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවීමේදී ගල් අඟුරු කැටවල ප්‍රමාණය සඳහන් නොවීම හේතුවෙන්, රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවී ඇති බව ඊයේ (06) පාර්ලිමේන්තුවේදි පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

එම කරුණු අනාවරණය වුයේ ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකළ ගල් අඟුරු මිදීගැනීම් සම්බන්ධයෙන් විමසීමට එම සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් කැඳවමින් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේදී ය.

ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගම දිගුකාලීන ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කෙටිකාලීන ක්‍රමවේදය යටතේ ගල්අඟුරු මිලදීගැනීම සිදුකර ඇත්තේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව බව ද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත.

මෙහිදී දීර්ඝකාලීන ක්‍රමවේදයෙන් තොරව කෙටිකාලීන ක්‍රමවේදය යටතේ ගල්අඟුරු මිලදීගැනීම මගින් වෙළෙඳපොළේ සිදුවන මිල උච්ඡාවචනයවීමේ වාසිය ලබාගැනීමට තමන් බලාපොරොත්තු වූ බව එම නිලධාරීහු කමිටුවට පැවසූහ.

නමුත් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව යමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එම ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති චරිත හේරත් මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

“නොරොච්චෝලේ ලක්විජය බලාගාරය“ ජාතික විදුලිබල පද්ධතියට එක්කොට ඇත්තේ මෙගාවොට් 900 විදුලි අවශ්‍යතාවයක් සපුරාලීමට වුවද එහි මෙගාවොට් 90 රික්තකයක් පවතින බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.

මේ අනුව සැබෑ වශයෙන්ම නිපදවෙන්නේ මෙගාවොට් 810ක් පමණක් බවත් මෙගාවොට් 90 රික්තකයක් යනු නොසලකාහැරීමට නොහැකි විදුලි අවශ්‍යතාවක් බව කෝප් කමිටුව හමුවේදී අනාවරණය විය.

අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටු ලේකම්වරයා අවස්ථා 8කදී ප්‍රසම්පාදන කමිටුවේ නොසිට අතිරේක ලේකම්වරයෙකු ඒ සඳහා යොදවා ඇති බව අනාවරණය වී ඇති බවත් මේ නිසා ගන්නා තීරණ නීත්‍යානුකූල බව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් කෝප් කමිටුවේදී අවධානයට ලක්විය.

කෙසේ නමුත් අතිරේක ලේකම්වරයෙකු මේ සඳහා යෙදවීමට හැකියාව පවතින බව පැමිණ සිටි නිලධාරීන් පැවසීය.

එය නිවැරදිද යන්න සොයාබලා වහාම වාර්තාවක් කොප් කමිටුවට ලබාදෙන ලෙස සභාපතිවරයා නිර්දේශ කළේය.

මිලියන 1100 වියදමින් ලංකා බිදුලිබල මණ්ඩලය මිලදීගත් බත්තල් 3ක් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිහරණයට ලබාදී ඇත්තේ ඇයිද යන්න පිළිබඳව කමිටුවේදී ප්‍රශ්න කෙරුණු අතර එම බත්තල් ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදුන් ක්‍රමවේදය, ඒවා නඩත්තුකිරීමට නොහැකිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ වාර්තාවක් වහා ලබාදිය යුතුයැයි කොප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here