කොවිඩ් වැළඳුණු ට්‍රම්ප් හා ආර්යාව

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනා වෛරසය වැළඳී ඇති විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

මේ බව සඳහන් කරමින් ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් කියැවුණේ ඔවුන් දෙපළ නිරෝධායනයට යොමු වී සිටින බවයි.

ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය වැළඳී ඇති බව දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ සමීප උපදේශකවරියක් වන 31 හැවිරිදි හෝප් හික්ස් ට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වීමෙන් අනතුරුවයි.

මෙම සතියේ ඔහායෝ ප්‍රාන්තයේ පැවති රූපවාහිනී විවාදයකට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයේ (එයාර් ෆෝස් වන් – Air Force One) ජනාධිපතිවරයා සමඟ හෝප් හික්ස් ද ගමන්ගෙන තිබුණි.

බ්‍රහස්පතින්දා රාත්‍රී ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ට්‍රම්ප්, “කෙටි විවේකයක් හෝ නොගෙන ඉතා කැපවීමෙන් වැඩකළ හෝප් හික්ස් කොවිඩ්-19 ට ලක්වී ඇති බව පරීක්ෂණවලදී හෙළිවෙලා.” යැයි පැවසීය.

හික්ස් කොරෝනා වෛරසයට ලක්වී ඇති බව හෙළිවීමෙන් අනතුරුව, බිරිඳ සහ තමන් නිරෝධායනයට යොමු වන බව ජනාධිපති ට්‍රම්ප් මීට පෙර පවසා තිබිණි.

“ජනාධිපති ආර්යාවත්, මාත් පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතරේ අපේ නිරෝධායන ක්‍රියාමාර්ගයත් ආරම්භ කරනවා” යැයි ද ඔහු පවසා තිබිණි.

මේ අතර වයස අවුරුදු 74 ක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ දක්වා වර්ධනය වී ඇත්තේ අවම රෝග ලක්ෂණ පමණක් බව ධවල මන්දිර නිලධාරීන් පවසති.

මෙම තත්ත්වය, ඔක්තෝබර් 15 වෙනිදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි හි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ දෙවෙනි විවාදයේ සැලසුම්වලට කෙසේ බලපානු ඇත්දැයි මෙතෙක් පැහැදිලි නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here