විල්ගමුවට වකුගඩු – රුධිර කාන්දුකරණ ඒකකයක් …

අර්ධ වශයෙන් නිම කර ඇති හෙට්ටිපොල වකුගඩු ‘රුධිර කාන්දුකරණ’ ඒකකයේ වැඩ කඩිනමින් අවසන් කර එම ඒකකයට අවශ්‍ය උපකරණ සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී තිබේ.

ඒ මාතලේ දිස්ත්‍රික්කයේ,හිඹිලියාකඩ – නාගවනාරාම විහාරස්ථාන භූමියේ අද (02) පැවති ““ගම සමග පිළිසඳර” දෙවන වැඩසටහනට එක්වෙමින්.

මෙමඟින් දඹුල්ල, මහනුවර, කුරුණෑගල සහ මහියංගනය රෝහල් වෙත ගොස් ‘රුධිර කාන්දුකරණ’ ප්‍රතිකාර ගන්නා රෝගීන්ට විශාල සහනයක් හිමිවන බව ප්‍රදේශවාසීන් පෙන්වා දුන් අතර දිස්ත්‍රික්කයේ රෝහල්වල පවතින හෙද හිගය පියවීමට ද වහාම පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.

දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොල නගරයේ විශාල පිරිසකට බලපා ඇති ඔප්පු පිළිබඳ ප්‍රශ්නයට ද කඩිනමි විසදුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දෙන්නැයි ද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා සියලු නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් දෙන්නැයි දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට නියම කළේය.

ස්වයං රැකියාවක් ලෙස කිරි ගොවි කර්මාන්තයේ නිරත පිරිස මුහුණ දී සිටින ගැටළු කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. ඔවුන් ව්‍යවසායකයන් බවට පත්කිරිමට සහාය දිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා කර ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට හා පහසුකම් සැලසීමට පියවරගත යුතු යැයි සඳහන් කළේය. අඩු මුදලට කිරි ගවයන් දීමට අදාළ ආයතන දැනුවත් කිරීමට ද තීරණ කෙරිණි.
කිරි ගොවීන් ණය ඉල්ලුම් කිරීමේදී සැපයිය යුතු ඇප කොන්දේසි ලිහිල් කිරීමට බැංකු සමග සාකච්ඡා කර පියවර ගන්නැයි ජනාධිපතිතුමා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය

හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට පංතිකාමර තුනකින් යුත් ගොඩනැගිල්ලක්, ගුරු නිවසක් ඉදිකිරීමට ද , ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේගම සහ විල්ගමුව නාමිණිඔය මහා විද්‍යාල සියලු පහසුකම් සහිත ජාතික පාසල් බවට පත් කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ. දිස්ත්‍රික්කයේ පාසල් රැසක පවතින ගුරු හිගයට කඩිනම් විසඳුම් දීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

“ගම සමග පිළිසඳර” වැඩසටහනින් පසු ගමේ නිවාස සහ ගොවිබිම් කිහිපයක්ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක, නාලක කෝට්ටේගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here