20 සමහර කරුණු වලට එකඟයි – රිෂාඩ් බදියුදීන්

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති සමහර වගන්ති වලට තම පක්ෂය එකඟ බවත් තවත් සමහර වගන්ති වලට එකඟ විය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කලේ ආණ්ඩුවේ කිසිවෙකු මේ සම්බන්ධයෙන් තමන් සමඟ මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි.

තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර 20වන සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ආණ්ඩුව සමඟ එක් වී වැඩ කරන්න අවස්ථාව තිබෙනවා නේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් ඔහු පැවසුවේ “No Comment ” යනුවෙනුයි.

පාස්කු ප්‍රහාරයට ආදළව අත්අඩංගුවට ගත් , රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා පසුගිය දා නිදහස් කිරීම පිළබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ තම සහෝදරයා හෝ තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොමැති අතර ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන්ට දැඩි දඬුවම් දිය යුතු බවයි.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කලේ , හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනා ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඔහුව නිදහස් කළ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ අප්‍රේල් 14 වනදා ඔහුව පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

එහිදී රියාද් බදියුදීන් එක් බෝම්බකරුවෙකු සමඟ සෘජු සබඳතා පවත්වා තිබූ බවටත්, එක් බොම්බකරුවෙකු සමඟ බෝම්බ පිපිරීමට ආසන්න කාලයේ දී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට සිට සාකච්ඡා කර ඇති බවත්, විශේෂ සුභසාධන සමිති සමාගම් ඇති කර බෝම්බකරුවන් සමඟ ඒ සමාගම්වල එකට නිලතල දරමින් කටයුතු කර ඇති බවටත්, එම සමාගම්වලට බෝම්බකරුවන් මුදල් ආයෝජනය කර ඇති බවටත් චෝදනා එල්ල වුණි.

මෙම චෝදනාවලට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි රියාද් බදියුදීන් මාස පහකට පසුව පසුගිය දා නිදහස් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here