විශ්ව විද්‍යාල විෂය නිර්දේශ රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත යුතුයි – ජනපති

විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප්‍රදානය කරන ආයතනයක් පමණක් නොවී රටට, ආර්ථිකයට මෙන්ම උපාධි ලාභියාටද ඉන් ප්‍රතිලාභ අත් වන ආයතනයක් විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කරයි. ඒ සඳහා ප්‍රායෝගික අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් නව විෂය නිර්දේශ කඩිනමින් හඳුන්වා දෙන්නැයි ද එතුමා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

එමෙන්ම අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කර තිබේ.

රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වසර ගණනාවකින් සිදු නොවීම වත්මන් රැකියා වෙළෙඳපොළ ගැටළුවලට හේතු වී ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. රට තුළ සහ අන්තර්ජාතිකව විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් පුරප්පාඩු පැවතුන ද ඊට අවශ්‍ය ශ්‍රම බලකාය අධ්‍යාපන ක්‍රමය විසින් බිහිකර නැති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

අධ්‍යාපනය මඟ හැරුණු දරුවාට, වයස් සීමාවකින් තොරව නැවත අපේක්ෂිත අධ්‍යාපන ඉලක්ක වෙත ළග වීමට නව ප්‍රතිසංස්කරණයෙන් පසුබිම සකස් විය යුතු බවත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු යැයි ද ජනාධිපතිතුමා යෝජනා කළේය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සියලු සිසුන්ට උපාධිය දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් සේම උපාධිධාරියා රැකියාවක් ඉල්ලා පාරට නොබසින, රැකියා වෙළෙඳපොළ උපාධිධාරියා සොයා එන අධ්‍යාපන ක්‍රමයක කඩිනම් අවශ්‍යතාව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

ඉදිරි වසරේ දී විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා සංඛ්‍යාව 31,000 සිට 41,000 දක්වා වැඩි කර තිබෙන අතර විවෘත විශ්ව විද්‍යාලයට වැඩිපුර ඇතුළත් කර ගන්නා සංඛ්‍යාව දස දහසකි. තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරීම පිණිස දස දහසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත. විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී සංවර්ධිත රටවල් අනුගමනය කරන විශ්ව විද්‍යාලයටම ආවේණික ක්‍රමයක් සැකසීම කෙරෙහි ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.
දැනටමත් කෙටුම්පත් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින් සංවාදයට යොමු කර ක්‍රියාවට නැංවීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

මේ අවස්තාවට අමාත්‍ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛිය ආයතනවල ප්‍රධානීහූ එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here