20 හෙට පාර්ලිමේන්තුවට – විපක්ෂය අධිකරණයට යාමේ සූදානමක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වාදුන් ඇතැම් වගන්ති ඉවත් කරමින් සකස් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූයේ සැප්තැම්බර් 02 වැනිදා වන අතර
සැප්තැම්බර් 03 වැනිදා එය ගැසට් කරනු ලැබුවා.කෙසේ වෙතත් එහි ඇතැම් සංශෝධන පිළිබඳව එල්ල වූ විවේචන හේතුවෙන් තවදුරටත් සිදුකළ යුතු සංශෝධන සලකා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා කමිටුවක් පත් කළා.

නමුත් පළමුවෙන්ම ඉදිරිපත් කෙරුණු  20 වැනි සංශෝධන කෙටුම්පතම වෙනසකින් තොරව එලෙසම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ඒඅනුව ව්‍යවස්ථානුකූලව , ගැසට් කර දින 14ක් සම්පූර්ණ වී ඇති  20 වන සංශෝධන  පනත් කොටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පසු දින හතක් ඇතුළත ඕනෑම පුරවැසියෙකුට එහි ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කරමින් අධිකරණයේ පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව පවතින අතර එලෙස දින 07ක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග නොකරන්නේ නම් දින 07කට පසු පාර්ලිමේන්තුවේ දී 02වන වර කියවීමේ විවාදයට ගත හැකි යි.

නමුත් කිසියම් පාර්ශවක් අදාළ කාලය තුළ 20වන සංශෝධනය අභියෝගයට ලක් කරන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතු අතර
අදාළ කාල සීමාව තුළ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් හිමි වන්නේ නැහැ.

දින 21ක් නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කලින් දිනක දී ලබා දෙන්නේ නම්, ඉන් පසුව 20වන සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය මත පදනම්ව 02 වන වර කියවීමේ විවාදය සඳහා ගත හැකි වේ.

දෙවන වර කියවීමේ විවාදය අවසානයේ ජන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී එය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පරිදි පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතරයකින් හෝ ජනමතවිචාරණයකින් සහ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු ය.

ඉන්පසු කාරක සභා අවස්ථාවේ දී 20 වන සංශෝධන පනතේ සියලුම වගන්ති එකිනෙක සලකා බලනු ලබන අතර ඕනෑම සංශෝධනයක් යෝජනා කිරීමටද එහිදී අවස්ථාව පවතී.

අනතුරුව 03වන වර කියවීමේ විවාදය අවසානයේද ජන්ද විමසීමක් පැවැත්වෙන අතර ඊටද පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවිය යුතු ය.

අවසාන වශයෙන් කථානායකවරයා පනතට අත්සන් තැබූ විට එය නීතිය බවට පත්වනු ඇති.

කෙසේ වෙතත් 20 වන සංශෝධනය පිළිබඳ ව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබෙන අතර අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ ගැසට් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ  අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ තොරතුරු දැනගැනීමේ අයිතිය,ජනාධිපතිවරයාගේ තරඟ කළ හැකි වාර දෙකකට සීමා කිරීම, පුරවැසි අයිතිය නොමැති අයට ව්‍යවස්ථාදායකට ඒමට තිබෙන හිමිකම ඉවත් කිරීම වැනි 19 වන සංශෝධනයේ ඇති යහපත් කරුණු රැකගත යුතු බව තමන්ගේ අදහස බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here