PHIලා වැඩ වර්ජනයකට

ජීවිත අවදානම නොතකමින් කොරෝනා වසංගතය තත්ව පාලනයට අදාළ නිවාරණ රාජකාරියේ නියුතුව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සදහා අවම ආරක්ෂක පහසුකම්වත් සැපයීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සිය රාජකාරි කටයුතු වලින් ඉවත් වීමේ අනතුරක තත්ත්වයක් මතුව තිබේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී.යු රෝහණ සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාතාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ තම ගැටළු දිනක් තුළ විසදීමට කටයුතු නොකරන්නේනම් අවම පහසුකම් යටතේ මසකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ මෙහෙවර අප්‍රේල් මස හතර වන දින සිට නවතා දැමීමට සිදු වන බවයි.

සිය සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සදහා සංගමයේ විධායක සභාව එම තීරණය ගෙන ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී.යු රෝහණ, රාජකාරි කටයුතු වලදී තම සාමාජිකයන් මුහුණ දී සිටින ගැටළු හතරක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධා නය යොමු කර තිබේ.

අවම ආරක්ෂක පහසුකම්වත් නොසැපයීම, ක්ෂ්‍රේත්‍ර රාජකාරි සදහා ප්‍රවාහන පහසුකම් නොසැපයීම, ආහාර ඇතුළු මුලික පහසුකම් නොසැපයීම, අත්‍යාවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් නොකරමින් නිලධාරීන් අවධානමේ හෙලීම ඒ අතර වේ.

තම ජීවිත අවදානමද නොසලකමින් කරනු ලබන රාජකාරිය නිසා පණ අදිමින් සිටින මහජන සෞඛ්‍ය නිවාරණ සේවය රදා පවතින බව සෞඛ්‍ය බලධාරීන්ට අවබෝධ නොවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දේශිය වෛද්‍ය සේවා අමාතාංශයේ ලේකම්වරයාට වැඩි දුරටත් දන්වා ඇත්තේ රාජකාරි කටයුතු වල නිරතව සිටින නිලධාරීන්ට අවම පහසුකම්වත් සැපයීමට බලධාරීන් අපොහොසත් වීම ඉතාම කණගාටුදායක තත්වයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here