ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහිව ඕමානයට කඩුලු 4ක ජයක්

නොවැම්බර් 14 වැනිදා සිට 23 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (14) ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වුණා.

කොක්ස් බසාර්හිදී පැවැත්වුණු මෙම තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ඕමාන කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 268ක් රැස්කරගත්තා.

අශේන් බණ්ඩාර ලකුණු 62ක් ද, නායක චරිත් අසලංක ලකුණු 57ක් ද, පැතුම් නිස්සංක ලකුණු 40ක් ද, මිනෝද් භානුක ලකුණු 33ක්ද, රමේෂ් මැන්ඩිස් ලකුණු 28ක් ද රැස්කළ අතර අන් ක්‍රීඩකයන් 17 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.
මොහොමඩ් සනුත් කඩුලු 3ක් ද, ජේ ඔඩෙඩ්‍රා කඩුලු 2ක් ද, කලීමුල්ලා සහ අකිබ් ඉල්යාස් එක් කඩුල්ල බැගින්ද දවාගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම පන්දු වාර 48.5කදී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකළා.

ජතින්දර් සිංග් නොදැවී ලකුණු 131ක්ද, සුරාජ් කුමාර් ලකුණු 70ක්ද, නසීම් කුෂි ලකුණු 21ක්ද, මොහොමඩ් සනුත් ලකුණු 19ක්ද රැස්කළ අතර අන් ක්‍රීඩකයන් 17 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.
අමිල අපොන්සු කඩුලු 3ක් ද, අසිත ෆර්නැන්ඩු සහ කළණ පෙරේරා එක් කඩුල්ල බැගින්ද දවාගනු ලැබුවා.
තරගයේ වීරයා සම්මානය ජතින්දර් සිංග් විසින් හිමිකරගත්තා.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ “A” කාණ්ඩයෙන් වන අතර නොවැම්බර් 16 පාකිස්ථානය සමගත්, නොවැම්බර් 18 වැනිදා ඇෆ්ගනිස්ථානය සමගත් තරග වැදීමට නියමිතයි.

A කාණ්ඩය

ශ්‍රී ලංකාව
පාකිස්ථානය
ඇෆ්ගනිස්ථානය
ඕමානය

B කාණ්ඩය

ඉන්දියාව
බංග්ලාදේශය
හොංග් කොංග්
නේපාලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here